සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 898

නාට්‍යකලාව

නා. නෘත්‍ය ශිල්පය; රංගන විධි පිළිබඳ ශාස්ත්‍රය; සිවුසැට කලාවලින් එකක්.

නාට්‍යධර්ම

නා.ප්‍ර. නාට්‍යයක ගැබ් විය යුතු ගුණාංග හෙවත් මූලධර්ම; නාට්‍යකලාවේ ධර්මතා.

නාට්‍යය

නා. යම් පුවතක්, සිද්ධියක්, කථා වස්තුවක් රඟපා දැක්වීම; දෘශ්‍ය කාව්‍යය; නාටකය; නෘත්‍ය, රැඟුම.

නාටාමියා

(කථා.) නා. කුලියට බඩු ඔසවන හෝ පටවන තැනැත්තා; බඩු ගෝනි කර ගසන්නා.

නාටිකාඞ්ගනාව

[නාටිකා + අඞ්ගනාව]
නා. නෘත්‍ය කරන ස්ත්‍රිය; නාටිකාව; නළඟන.

නාටු

(කථා.) වි. කෘශ; කෙට්ටු; කැහැටු; කේඩෑරි; සිහින්.

නාඩගම

1. නා. ජන නාටක විශේෂයක්.
2. නා. විහිළුව; විගඩම; කෝලම; අයෝග්‍ය හැසිරීම.

නාඩි

1. (පාරිභා.) නා.ප්‍ර. හෘදයේ සිට ශරීරයේ සෙසු කොටස් කරා ලේ ගෙන යන වාහිනි; ලේ නහර ධමනි.
2. නා.ප්‍ර. ජීවියකුගේ හෘද ස්ඵන්දනය අනු ව ධමනි තුළ ඇතිවන සැලීම.
3. නා.ප්‍ර. ශාකයක පත්‍ර තලයේ විහිද ඇති පෝෂක කොටස් අන්තර්ගත නාල සමූහය.
4. (ජ්‍යෝති.) නා.ප්‍ර. පුද්ගලයකුගේ ජන්ම නැකත අනු ව කේන්දරයක සඳහන් ගණ යෝනිවලට අයත් අංගයක්.
5. (ජ්‍යෝති.) නා.ප්‍ර. කාලය මනින මිම්මක්; මුහුර්තියකින් භාගය, ක්ෂණ හයක පමණ කාලය.

නාඩි වින්‍යාසය

(පාරිභා.) නා. නාඩි පද්ධතියේ සැකැස්ම; ධමනි විහිදී ඇති ආකාරය.

නාඩි ශාස්ත්‍රය

1. නා. නාඩි ගැස්මේ ස්වභාවය පරික්ෂා කොට රෝග නිශ්චය කිරීමේ වෛද්‍ය ශාස්ත්‍රය.
2. නා. යෝගාභ්‍යාස පිළිබඳ ශාස්ත්‍ර විධියක්.

නාඩි ස්පන්දනය

(පාරිභා.) නා. ධමනි සැලීම; නාඩි වැටීම; ධමනිවල සිදුවන ඉහිල්වීම හා සංකෝචනය.

නාඩික

නා.ප්‍ර. කල්ක වර්ග ආදිය සිඳීමේ දී ඒවා පදම් වී ගෙන එන අවස්ථාව.

නාඩිකාව

1. නා. ශාකයක නටුව හෝ නාළය.
2. නා. නහරය; රුධිරවාහිනිය.
3. (ජ්‍යෝති.) නා. කාල ප්‍රමාණයක්; ඉන්දියානු පැය; විනාඩි විසිහතරක සිංහල පැය.

නාඩිකෝෂය

නා. පවිත්‍ර රුධිරය නාඩිවලට නිකුත් කරන හෘදයේ සංකෝචන කාමරවලින් එකක්.

නාඩිප්‍රදාහය

(පාරිභා.) නා. නහරගත ආබාධයක්; නාඩිවල ඉදිමීම සහ දැවිල්ල.

නාඩිබිල

නා. ස්නායු සෛල.

නාඩිමාත්‍රා

(පාරිභා.) නා.ප්‍ර. ධමනිවල සැලීම් ප්‍රමාණය; හෘදයේ ස්පන්දන වේගය; නාඩි ගැහීමේ වාර ප්‍රමාණය.

නාඩිමානක යන්ත්‍රය

(පාරිභා.) නා. රුධිර පීඩන මානකය; නාඩි ප්‍රකාශන යන්ත්‍රය.

නාඩිවණ

නා.ප්‍ර. ඔඩු දිවූ වණය; කල්යෑමෙන් බරපතළ වූ තුවාලය.

නාඩිවාක්‍ය

නා. අනාවැකි සඳහන් ග්‍රන්ථයක්; අනාගතයේ පහළ වන පුද්ගලයන්ගේ විවිධ ජීවන තොරතුරු ඇතුළත් කොට පැරණි ඉසිවරයන් විසින් ලියන ලදැයි සැලකෙන ඉන්දියාවේ පමණක් දක්නට ලැබෙන දුබල ගණයේ ජ්‍යෝතිෂ්‍ය පොත් ගණය.

නාඩිසූචකය

(පාරිභා.) නා. නාඩිගැස්ම හෙවත් හෘදස්පන්දනය පරික්ෂා කරන නළය; දොස්තර නළාව; උරසීක්ෂය: ස්ටෙතස්කෝපය.

නාඩු

1. නා.ප්‍ර. රට; දේශය; පළාත; දිස්ත්‍රික්කය.
2. නා.ප්‍ර. දෝෂාරෝපණය; අපවාදය.
3. නා.ප්‍ර. තර්ජනය; සැරවැර වීම.
4. නා.ප්‍ර. කලහය; අවුල.
5. නා.ප්‍ර. සහල් වර්ගයක්.

නාණක

නා.ප්‍ර. කාසිය; පදක්කම; මුද්‍රාපිත ලෝහ කැබැල්ල.

නාථ

1. නා.ප්‍ර. බෝධිසත්වවරයකු වූ අවලෝකිතේශ්වර හෙවත් අවලෝකිතේශ්වර නාථ දෙවි.
2. නා.ප්‍ර. ලෝකයට පිහිටවන තැනැත්තා; බුදුරජාණන්වහන්සේ.
1. වි. පිහිට වන්නා වූ; සරණ වූ·
2. වි. ප්‍රධාන; නායක; ස්වාමි.