සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 939

නිරාතපා

නා.ප්‍ර. රාත්‍රිය; නිශාකාලය.

නිරාදර

නා.ප්‍ර. ඇල්ම නොමැතිකම; සෙනෙහසින් තොරවීම; අනාදරය.

නිරාදීනව

නා.ප්‍ර. ආදීනවයෙන් තොරබව; දෝෂ විරහිතබව; විපත් නැතිකම.

නිරාදුක

නා. නිරයෙහි දී විඳීමට සිදුවන වධ වේදනාව; නිරය; දුඃඛය.

නිරාදූතයා

නා. (ක්‍රිස්ති.) යමදූතයා; යක්ෂයා.

නිරාධාර

1. වි. ආධාරයක් නැති; පිහිටක් නැති; කිසිවක එල්බී හෝ රැඳී නොපවන්නා.
2. වි. සාක්ෂ්‍ය විරහිත; ඔප්පු කළ නොහැකි.
3. වි. ස්වාධීන; අනුන්ගේ උපකාර අනවශ්‍ය.

නිරානන්ද

වි. ප්‍රීතියෙන් තොර; සතුටක් නැති; දුක්මුසු.

නිරාපත්තිය

[නිර් + ආපත්තිය]
නා. ආපත්ති ඇති නොවීම; ඇවැත් සිදු නොවීම.

නිරාපද

වි. අනතුරු රහිත; ආපදාවකට තුඩු නොදෙන; විපතකට හේතු නොවන.

නිරාපල්ලා

නා. නිරය පාලකයා; යමපල්ලා.

නිරාබාධ

වි. ආබාධ රහිත; ලෙඩ නැති; නිරෝගී.

නිරාමය

නා. නිරෝගිබව; ලෙඩින් මිදීම; සුවපහසුව.
වි. කෙලෙස්වලින් වෙන් වූ; පස්කම් සැපතට යොමු නොවන.

නිරාමිෂ

1. වි. ආමිෂයෙන් තොර; කාම නිශ්‍රිත නොවූ; උතුම්; කෙලෙසුන්ගෙන් වෙන් වූ.
2. වි. මස් මාළු කෑමෙන් තොර; මාංසාහාරයෙන් වැළකුණු.
3. වි. ආහාර ගැනීමෙන් තොර.

නිරාමිෂ ප්‍රීතිය

නා. පඤ්චකාමවලින් වෙන්වීමෙන් ලබන සතුට; ත්‍රිවිධ ආමිෂ හා නොබැඳුණු ප්‍රීතිය.

නිරාමිෂ පූජාව

නා. ප්‍රතිපත්ති පූජාව; උතුම් හැසිරීමෙන් කරන පූජාව; උසස් ගෞරවය.

නිරායාස

වි. ආයාස රහිතබව; නිරුත්සාහය; වෑයමක් නොකිරීම.

නිරායුධ

වි. ආයුධ රහිත; යුද අවි නැති; සටනට නොසැරසුණු.

නිරායුධකරණය

නා. යුධ අවි තැනීම නවතා සටන් වැදීමේ ශක්තිය නැතිකර දැමීම; යුද්ධ සේනා සංවිධානය නතර කිරීම.

නිරායෝජනය

(පාරිභා.) නා. ආයෝජනයෙන් ඉවත්වීම හෝ බැහැරවීම (=disinvestment).

නිරාරක්ෂිත

වි. රැකවල් කරනු නොලැබූ; රැකවලක් නැති; අනාරක්ෂිත.

නිරාරෝපිත

වි. ආරෝපණය නොකළ; නොනැංවූ; නොතබන ලද.

නිරාලම්බ

1. වි. නොඑල්බෙන; තම බලයෙහි පිහිටි; නිදහස්.
2. වි. හිස්; එල්බීමට කිසිවක් නැති; ප්‍රතිෂ්ඨා විරහිත; පිහිටක් නැති.
3. වි. අරමුණක් නැති.

නිරාලය

1. නා.ප්‍ර. නොඇලීම; අසතුට; පඤ්චකාමයෙහි නොඇලෙන බව.
2. නා.ප්‍ර. මඳ වෑයම; උදාසීනබව.

නිරාලස්‍ය

වි. අලසබව නැති; කඩිසර.