සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 956

නිස්සරණ ගුණකය

(පාරිභා.) නා. විද්‍යුත් යන්ත්‍රයක වූ චුම්බක පරිපථයක සම්පූර්ණ ස්‍රාවය.

නිස්සරණ පාතය

(පාරිභා.) නා. කාන්දුවීම නිසා සිදුවන බැස්ම; ගලායෑම.

නිස්සරණ මානය

(පාරිභා.) නා. කුඩා ඡිද්‍රයකින් වායු අපගමනයට ගත වන කාලය; වායුවෙහි අණුක බර සැසඳීමේ උපකරණයක්.

නිස්සරණාධ්‍යාසය

නා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාදියකින් තොර අදහස; පෙරලා කිසිවක් බලාපොරොත්තු නැතිකම.

නිස්ස්‍යන්දය

නා. ගලාබැසීම; ද්‍රවයක් බින්දු බින්දු වශයෙන් ඇද හැලීම.

නිස්ස්‍රාවය

(පාරිභා.) නා. ආශයකින් යමක් පිට වීම; නික්මීම හෝ ගලායාම; විහිදීම.

නිස්සාර

වි. සාරයක් නැති; හරයක් නොමැති; ගත යුත්තක් නැති; අගය කිරීමට යමක් නැත්තා වූ.

නිස්සාරක

(පාරිභා.) නා.ප්‍ර. දියරයක මිශ්‍ර වී ඇති රසායන ද්‍රව්‍යයන් එකිනෙක වෙන් කර ගැනීමේ ශක්තිය ඇති ද්‍රව.
වි. ජලයෙහි මිශ්‍ර වී ඇති රසායන ද්‍රව්‍ය උද්ධරණය කරන.

නිස්සාරණය

1. (විනය.) නා. යහපත් පැවතුම් නැති භික්ෂුව (ආයති සංවරය පිණිස) සංඝ සමාජයෙන් බැහැර කිරීම.
2. (පාරිභා.) නා. උද්ධරණය; උපුටා ගැනීම; වෙන් කර ඉවත් කිරීම.

නිස්සාරභාවය

නා. නිසරුබව; හරයක් නැතිබව.

නිස්සාරිතය

(පාරිභා.) නා. ද්‍රව්‍යයකින් වෙන් කර ගත් රසායන ද්‍රව්‍ය නිස්සාරණය කරනු ලැබූ දේ; උපුටන ලද දේ.

නිස්සිත

වි. ආශ්‍රය කළ හෝ සඳහන් කළ; ආරක්ෂිත.

නිස්සේචනය

(පාරිභා.) නා. සේදීම; ජලය පැමිණවීම.

නිස්සේය

වි. ශේෂ රහිත; ඉතිරියක් නොමැති.

නිස්සෛලීය

(පාරිභා.) වි. සෛල පිළිබඳ නොවූ; සජීවී සෛල හා බැඳීමක් නොමැති.

නිස්සෝක

වි. ශෝක රහිත; දුකින් මිදුණු.

නිස්සෝභ

වි. ශෝභාවෙන් තොර; බැබලීම නැති; ප්‍රභා විරහිත; හැඩ නැති.

නිසා

නා.ප්‍ර. රැය; රාත්‍රිය.
නි. හේතු කොට ගෙන; කරණ කොට ගෙන; බැවින්.

නිසාකර

නා.ප්‍ර. රාත්‍රිය ඇති කරන්නා; සඳ; නිසයුර.

නිසාචර

නා.ප්‍ර. රාත්‍රියෙහි හැසිරෙන්නා; සොරා; චෞරයා.

නිසානාථ

නා.ප්‍ර. රාත්‍රියට අධිපති වන චන්ද්‍රයා; සඳ; නිශාකර.

නිසැක

වි. සැකයක් නැති; ශංකා රහිත; ස්ථිර.

නිසැදි

වි. නිරතුරු; නිරන්තර; නිතර.

නිසැදු

වි. නිස්සජ්ජනය කළ; පැවරූ; අත්හළ.