සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 983

පටිජග්ගනය

නා. පෝෂණය කිරිම ; රැකබලා ගැනීම ; සාත්තු සප්පායම් කිරීම.

පටිධාතුව

නා. බුදුරජාණන් වහන්සේගේ කාය බන්ධනය ; අඳන සිවුර මත බැඳි පටිය.

පටිධාවකය

නා. පරිගණකගත කිරිම සඳහා පටිගත කළ දත්ත ඇතුළත් කරනු ලබන ධාවක යන්ත්‍රය.

පටිපදා

නා.ප්‍ර. ක්‍රියා මාර්ගය ; පිළිවෙත ; පිළිපැදීම.

පටිපාටිය

නා. පිළිවෙළ ; අනුක්‍රමය.

පටිමාඝර

නා.ප්‍ර. පිළිම ගෙය; ප්‍රතිමා මන්දිරය.

පටිය

1. නා. රෙදි, කඩදාසි, දැව, ලෝහ ආදියෙන් දිගට හා පටුවට තනාගනු ලබන දෙය.
2. ඉඟවටෙහි බඳින පලඳනාවක් ; කාය බන්ධනය.
3. දිගට විහිද යන බිම් තීරුව.
4. තනතුරට අයත් ශ්‍රේණිය.

පටිලාභ

නා.ප්‍ර. ලැබීම ; අයත්වීම ; ප්‍රතිලාභය.

පටිලෝමය

නා. අග සිට මුලට පැමිණීම ; ප්‍රතිලෝමය.

පටිවාත

නා.ප්‍ර. සුළං හමාගෙන එන දිශාවට විරුද්ධ දිශාව ; ඉදිරිපසින් හමන සුළඟ.

පටිවේද

නා.ප්‍ර. අවබෝධය ; දැනුම.

පටිසංඛරණය

නා. අලුත්වැඩියාව ; යළි සැකසීම ; ප්‍රතිසංස්කරණය ; පිළිසකර.

පටිසන් දෙනවා

ක්‍රි. විපාක දෙනවා ; පඩිසන් දෙනවා ; පල දෙනවා.

පටිසන්ථාරය

නා. සුව දුක් විමසීම ; ආගිය තොරතුරු පිළිබඳ කතාබහ ; පිළිසඳර.

පටිසන්ධිය

නා. පිළිසිඳ ගැනීම ; භවයෙන් භවය සම්බන්ධය ; භව දෙකක් අතර එක්වීම.

පටිසම්භිදා

නා.ප්‍ර. (අභි.) විශේෂ විභාග දන්නා නුවණ ; විශිෂ්ට ඥානය ; පිළිසිඹියාව.

පටිසල්ලාන

නා.ප්‍ර. විවේකය ; තනි ව හිඳීම ; හුදෙකලාව.

පටිසාරණිය

වි. පෙරළා යැවිය යුතු ; ආපසු යැවිය යුතු.

පටිසේධන

නා.ප්‍ර. ප්‍රතිෂේධය; ප්‍රතික්ෂේප කිරීම; (ආහාර ආදිය) වැළැක්වීම.

පටිහාණ

නා.ප්‍ර. වැටහීම ; ප්‍රතිභානය ; එළඹසිටි ප්‍රඥාව ; නුවණ ; රහත්වීමට අවශ්‍ය තරම් වූ ශ්‍රේෂ්ඨ ඥානය.

පටිහාණ කවි

1. නා.ප්‍ර. පාලි සාහිත්‍යයෙහි එන චතුර්විධ කවියන් අතරින් කෙනෙකි ; වැටහෙන නුවණින් යුතු කවියා.
2. ඒ ගණයට අයත් ප්‍රබන්ධ.

පටු

1. වි. පළල් නොවන; පළලින් අඩු.
2. දක්ෂ; නිපුණ; ප්‍රවීණ.
3. නුවණ මඳ; බොළඳ.

පටුත්වය

නා. නිපුණත්වය ; දක්ෂභාවය ; ප්‍රවීණත්වය.

පටුන

1. නා. තොටුපළ ; වරාය.
2. තොටුපළක් හෝ වරායක් හෝ අසල ඇති වෙළඳුන් ගැවසෙන දියුණු ගම ; වෙළඳ ගම.
3. පොතක ඇතුළත් පරිච්ඡේද ආදි කොටස් ; ග්‍රන්ථාරම්භයෙහි දක්වා ඇති වගුව ; අනුක්‍රමණිකාව.