අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 141

තෛලය

නා. තෙල් (සං. තෛල)

තොටමුණ

නා. තොටුපළ; තොටක් අසබඩ ගම

තොටිල්ල

නා. දරුවන් නළවා නිදි කරවන පැද්දෙන ඇඳ (දෙ. தொட்டில்)

තොටුපළ

නා. ගංගා, ඔය ආදි ජලතලාවකින් එගොඩ මෙගොඩ වන ස්ථානය

තොණ්ඩුව

නා. ඇදීමේ දී තද වන ආකාරයෙන් ලණු, කඹ ආදියෙන් තනා ගන්නා පුඬුව/ මල පුඬුව; පාශය (දෙ. தொண்டு)

තොඳොල්

වි. සුරතල්; බොළඳ

තොරණ

නා. දොරටුව; බිහිදොර/ ආගමික කතා පුවත් නිරූපණය කරන ආකෘතිමය සැරසිල්ලක්/ දොරටු සැරසිල්ල (පා. සං. තොරණ)

තොරන්

නා.ප්‍ර. තොරණ

තොල

නා. මුඛ විවරයෙහි ඇති මාංසමය පටල දෙකෙන් එකක්; ඕෂ්ඨය

තොවිලය

නා. අමනුෂ්‍ය උපද්‍රව දුරලීම සඳහා කරන ශාන්තිකර්මය (දෙ. தொழல்)

තෝං ලණුව

නා. ගොනා මෙහෙයවන නාස් ලණුව

තෝණිගල

නා. පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි පැරණි ස්ථානයක්

තෝතැන්න

නා. ගසක් වටේ දිය රැඳවීම සඳහා තැනූ ඇලිය; ජලතලාව/ බීජ රෝපණය සඳහා උස් කොට සකස් කළ බිම; පාත්තිය

තෝදනය

නා. වේදනාව; පීඩාව (සං. තොදන)

තෝන්තුව

නා. මලානික බව; කනස්සලු බව (පුර්. tonto)

තෝම්බුව

නා. පුර්තුගීසි, ලන්දේසි යුගවල ජනයාගේ හා ඉඩකඩම් ආදියෙහි විස්තර සඳහන් කළ ලේඛනය/ පරම්පරා තොරතුරු අඩංගු ලේඛනය (පුර්. tombo)

තෝල්කයා

නා. උසාවියක භාෂා පරිවර්තකයා; විනිසුරුගේ ප්‍රකාශ පැහැදිලි කර දෙන්නා (ල. tolk)

තෝෂ

නා.ප්‍ර. සතුට (සං. තොෂ)

තෝෂණය

නා. සතුටු කිරීම (සං. තොෂණ)

ථීනමිද්ධය

නා. අරමුණු ගැන්වීමෙහි සිතෙහි මැළි ගතිය හා කයේ මැළි බව (පා. ථීනමිද්ධ)

ථුල්ල

වි. මහත (පා. ථුල්ල)

ථූපය

නා. දැගැබ; ස්තූපය (පා. ථූප)

ථූපවංසය

නා. පැරණි සිංහල ගද්‍ය ප්‍රබන්ධයක නාමය (පා. ථූපවංස)

ථූපාරාමය

නා. මහින්දාගමනයෙන් පසු ලක්දිව තනන ලද පළමු දාගැබ (පා. ථූපාරාම)