අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 176

නිෂ්කාසනය

නා. නැවක් පිට වීමට පෙර තීරු බදු ගෙවීම හා සියලු බැඳීම්වලින් නිදහස් වීම/ බැංකුවක් මඟින් චෙක් සහ බිල් පත්‍ර හුවමාරු කර වෙනස පමණක් මුදලින් ගෙවීම (සං. නිෂ්කාසන)

නිෂ්ඨාව

නා. කෙළවර; අවසානය/ රහත් බව (සං. නිෂ්ඨා)

නිෂ්ඨුර

නා.ප්‍ර. සැරපරුෂ; චණ්ඩ (සං. නිෂ්ඨුර)

නිෂ්ඨුර පරිග්‍රහණය

නා. දැඩි කොට අල්ලා ගැනීම

නිෂ්පත්තිය

නා. හට ගැනීම; උපත/ නිමාව; අවසන (සං. නිෂ්පත්ති)

නිෂ්පන්න

වි. උපන්; හට ගත් නා.ප්‍ර. නිෂ්පන්න ශබ්ද; භාෂාවක දේශීය ව ඇති වූ වචන (සං. නිෂ්පන්න)

නිෂ්ප්‍රභ

නා.ප්‍ර. නොබැබළීම/ ඉවත් කිරීම; අස් කිරීම; ප්‍රතික්ෂේප කිරීම (සං. නිෂ්ප්‍රභ, නිෂ්ප්‍රභා)

නිෂ්ප්‍රයෝජන

වි. පල ප්‍රයෝජන රහිත; නිරර්ථක (සං. නිෂ්ප්‍රයොජන)

නිෂ්පාදක

වි. අලුතින් යමක් උපදවන; නිපදවන (සං. නිෂ්පාදක)

නිෂ්පාදනය

නා. අලුතින් උපදවීම; නිර්මාණය කිරීම; නිපදවීම (සං. නිෂ්පාදන)

නිෂ්පාපී

වි. පවින් තොර; පව් නැති (සං. නිෂ්පාපී)

නිෂ්ඵල

වි. ඵලයක් නැති; වැඩකට නැති (සං. නිෂ්ඵල)

නිෂේධ බලය

නා. වැළැක්වීමට ඇති බලය

නිෂේධනය

නා. වැළැක්වීම; බාධා කිරීම (සං. නිෂෙධන)

නිෂේධය

නා. වැළැක්වීම; බාධා කිරීම (සං. නිෂෙධ)

නිසංසල

වි. නොසෙල්වෙන; නොසැලෙන; නිශ්චල

නිසග

වි. නිසර්ග

නිසරණ

වි. පිහිටක් නැති; අසරණ (සං. නිශ්ශරණ)

නිසර්ග

වි. ස්වාභාවික; සහජ (පා. නිසග්ග සං. නිසර්ග)

නිසල

වි. නොසෙල්වෙන; සංසුන් (සං. නිශ්චල)

නිස්කලංක

වි. නිෂ්කලංක

නිස්කාරණය

නා. නිෂ්කාරණය

නිස්සරණ

නා.ප්‍ර. සසරින් නික්මීම; නිර්වාණය (පා. නිස්සරණ)

නිස්සරණාධ්‍යාසය

නා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාදියකින් තොර අදහස; ලාභාපේක්ෂාවෙන් තොර වූ අදහස