අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 181

පක්ෂග්‍රාහි

වි. මධ්‍යස්ථ නොවන

පක්ෂය

නා. පක්ෂීන්ගේ පියාපත/ පැත්ත; භාගය/ පසළොස් දවස/ පක්ෂපාතකම/ දේශපාලන සංවිධානය (සං. පක්‍ෂ)

පක්ෂාඝාත

නා.ප්‍ර. අංසභාගය; ආඝාතය (සං. පක්‍ෂාඝාත)

පක්ෂි ගණය

නා. කුරුලු රංචුව

පක්ෂිධේනුව

නා. කිරිල්ලිය

පක්ෂියා

නා. කුරුල්ලා (සං. පක්‍ෂි)

පක්‍ෂ්මය

නා. ඇස් පිහාටුව/ අක්ෂි ගෝලය/ බීජාණුවක තිබෙන කෙන්දක් වැනි උපාංගයක්/ සෛලයක මතුපිට සිට නෙරූ සිහින් සෛල ප්ලාස්මීය කෙඳිවලින් එකක්

පගලිය

නා. දුන්නට ඊය අමුණන තැන; ඊ දැත්ත

පගාව

නා. අල්ලස/ ගාස්තුව; කුලිය; ගතමනාව (පුර්. pagao)

පගෝදිය

නා. ලක්දිව භාවිත වූ පැරණි රන් හෝ රිදී හෝ කාසියක්; වරාගම් (පුර්. pagodi)

පඞ්ක

නා.ප්‍ර. මඩ; කලල/ චූර්ණ; කල්ක (පා. සං. පඞ්ක)

පඞ්කජ

නා.ප්‍ර. පංකජ

පචනය

නා. ආහාර පිසීම/ දැවීම; පිලිස්සීම/ පැසීම; දිරවීම (සං. පචන)

පච්ච

නා.ප්‍ර. කොළ පැහැය/ මරකත මැණික/ සමෙහි කොටන රූපය (දෙ. பச்சை)

පජ්ජෝතය

නා. ප්‍රදීපය; පහන (පා. පජ්ජොත)

පඤ්ච කකුධ භාණ්ඩ

නා.බහු. රජ තනතුරට හිමි වල්විදුනාව, ශීර්ෂ පලඳනාව, කඩුව, සේසත හා මිරිවැඩිසඟල

පඤ්චබාණ

නා.ප්‍ර. අනංගයා/ අනංගයාගේ ඊතල ලෙස සැලකෙන පියුම්, හෝපලු, මී අඹ, දෑසමන්, නිලුපුල් යන මල් පහ (සං. පඤ්චබාණ)

පඤ්චශිඛයා

නා. දෙව්ලොව ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෙක්; පන්සිළු (සං. පඤ්චශිඛ)

පඤ්චාක්ෂර

නා.ප්‍ර. අ, ඉ, උ, එ, ඔ යන ස්වරාක්ෂර පහ/ වර්ගාක්ෂර පහ/ අකුරු පසකින් යුක්ත වචනය (සං. පඤ්චාක්‍ෂර)

පට

නා.ප්‍ර. නූල් විශේෂයක්/ පට නූලෙන් කළ වස්ත්‍රය/ රේණු, මකරන්ද ආදි තුනී පටලය/ කෙළවර; කොන/ දාමය; මාලාව/ නළල්පට/ තනතුරක් හෝ ගෞරව නාමයක් හෝ පිරිනැමීමේ දී සංකේතයක් වශයෙන් පලඳවනු ලබන පලඳනාවක් (පා. සං. පට්ට)

පටකය

නා. සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් සෛල සමූහය; එක ම වර්ගයේ සෛලවලින් සෑදුණු ප්‍රදේශය (සං. පටක)

පටපිළි

නා.ප්‍ර. සේද නූලෙන් වියූ රෙද්ද; පට රෙද්ද

පටලනවා

ක්‍රි. ඔතනවා; දවටනවා/ අවුල් කරනවා/ සම්බන්ධ කරනවා

පටලය

නා. තුනී ආවරණය; වැස්ම/ එක පිට එක තිබෙන වස්ත්‍ර තට්ටුව; සත්ත්ව ශරීරයෙහි යම් යම් අවයව එකිනෙකින් වෙන් කරන සියුම් සිවිය/ ඇසෙහි පෙනුම දුබල කරන සියුම් ආවරණය/ පලිහ (පා. සං. පටල)