අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 184

පතිකුලය

නා. ස්වාමි කුලය/ ස්වාමිපුරුෂයාගේ වාසස්ථානය (පා. පතිකුල)

පතිත වෙනවා

ක්‍රි. වැටෙනවා; පතනය වෙනවා (පා. පතිත)

පතිනිය

නා. භාර්යාව/ පතිවත රකින්නිය/ පත්තිනි දේවිය (සං. පත්නී දෙ. பத்தினி)

පතිව්‍රතතාව

නා. පතිව්‍රතය සහිබ බව; පතිවත්බව

පතිව්‍රතය

නා. පවිත්‍ර ස්වාමි භක්තිය; සොර සැමියන් නොසොයා සිය සැමියා පමණක් පතා හිඳීමේ පිළිවෙත (සං. පතිවත)

පතිවෘන්තය

නා. කොළ්‍යක නටුව

පතුරනවා

ක්‍රි. විසුරුවනවා/ ප්‍රසිද්ධ කරනවා/ මුදා හෙළනවා (පා. පත්‍ථරති)

පතුල

නා. පාදාන්තය/ පය පොළොවේ වැදෙන කොටස/ අඩිය; ගැඹුරු ම තැන (පා. සං. පාදතල)

පථය

නා. පාර; මඟ/ වාසභූමිය/ භූ කලාපය/ ගෝචර ප්‍රදේශය (සං. පථ)

පථ්‍ය

වි. හිතකර; යෝග්‍ය/ සුඛදායක (සං. පථ්‍ය)

පද ඝටනාව

නා. පද ගැළපීම; පද එකිනෙක යෝග්‍ය පරිදි එකතු කිරීම/ සාහිත්‍ය රචනයක වස්තු විෂයට හා අවස්ථා නිරූපනයට අදාළ පරිදි පද යෙදීම; පද සංයෝජනය (සං. පද+ඝටන)

පද වින්‍යාසය

නා. වචන පිළිවෙලට පිහිටුවාලීම/ පාද පිළිවෙලට තැබීම

පදනම

නා. අත්තිවාරම; අඩිතාලම/ ආයතනය; සංස්ථාව

පදප්‍රාප්ත

වි. පදවියට අයත්; තනතුරට පැමිණි

පදපූරණය

නා. පද පිරවීම් වශයෙන් යෙදෙන කොටස (පා. සං. පදපූරණ)

පදපෙරළිය

නා. පදයන්ගේ අගමුල මාරුවීම; පද මාරුව

පදලස

නා. බුදුරදුන්ගේ පා සටහන

පදලාංඡනය

නා. පාද සලකුණ; පියවර සටහන (සං. පදලාඤ්ඡන)

පදසාධනය

නා. නාම, ක්‍රියා ආදි පද සෑදීම (පා. පදසාධන)

පද්ධතිය

නා. ක්‍රමය; පිළිවෙල (පා. සං. පද්ධති)

පද්මපාණි

නා.ප්‍ර. නෙළුමක් අතින් ගත් තැනැත්තා; අවලෝකිතේශ්වර (සං. පද්මපාණි)

පද්‍ය බන්ධනය

නා. පද්‍ය රචනා කිරීම; කාව්‍ය තැනීම

පද්‍යකරණය

නා. කවි රචනා කිරීම

පද්‍යය

නා. කාව්‍ය බන්ධනය; පැදිය (සං. පද්‍ය)