අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 212

පාලනය

නා. රැකීම; ආණ්ඩු කිරීම (පා. සං. පාලන)

පාලම

නා. දෙගොඩක් සම්බන්ධ කරන මාර්ගය; සේතුව; හෙය (දෙ. பாலம் සං. පාලි)

පාලි

නා.ප්‍ර. බුද්ධ ධර්මය/ මාගධී භාෂාව/ පෙළ බසින් ලියූ දහම් කොටස/ පේළිය/ පාලම; සේතුව (පා. පාලි, පාළි)

පාශය

නා. උගුල; තොණ්ඩුව/ කාම, රාග ආදි ක්ලේශ බැම්ම (සං. පාශ)

පාෂණ්ඩයා

නා. මිථ්‍යාදෘෂ්ටිකයා (සං. පාෂණ්ඩක)

පාෂාණ

නා.ප්‍ර. ගල (සං. පාෂාණ)

පාෂාණිභූත

වි. ගල් බවට පත් වූ; ගලක් වැනි වූ

පාසල

නා. පාඨශාලාව

පාසාණම්

නා.ප්‍ර. උග්‍ර විෂ වර්ගයක්; සුදු ආසනික්

පාළු

වි. හිස්; ජනශූන්‍ය (දෙ. பாழ்)

පැකිලෙනවා

ක්‍රි. හැපෙනවා; පටලැවෙනවා/ ප්‍රමාද වෙනවා; පසුබට වෙනවා (පා. පක්ඛලති)

පැටලිලි

නා.ප්‍ර. අවුල; කරදරය

පැණ

නා. නයි පෙණය (පා. සං. ඵණ)

පැණි

1. නා.ප්‍ර. මිහිරි, රසවත් වූ දෙය (පා. ඵාණී) 2. ප්‍රාණියා (සං. ප්‍රාණි පා. පාණි)

පැණිමුළ

නා. පැණි පුරවන ලද පැස; පැණි පට්ටය

පැතලි

වි. තුනී; සමතල

පැදකුණු

නා.ප්‍ර. ගෞරව කිරීම සඳහා දකුණතට එම වස්තුව වටා යෑම/ වටා යෑම; සැරිසැරීම (පා. පදක්‍ඛිණා සං. ප්‍රදක්‍ෂිණා)

පැන

1. නා.ප්‍ර. ප්‍රශ්නය; ගැටලුව (පා. පඤ්හ සං. ප්‍රශ්න) 2. පානීය ජලය (පා. සං. පාන, පානීය) 3. අත්හැර දැමූ දෙය (පා. පහීන) 4. ප්‍රඥාව; නුවණ (පා. පඤ්ඤා සං. ප්‍රඥා) 5. මලපුඩුව (පා. පණ්ණ)

පැන නඟිනවා

ක්‍රි. මතු වෙනවා; හට ගන්නවා

පැනසර

වි. ගැඹුරු නුවණින් යුත් (සං. ප්‍රඥාසාර)

පැන්

නා.ප්‍ර. ජලය; බොන දෙය (පා. සං. පාන, පානීය)

පැන් කෙණ්ඩිය

නා. දිය කොතලය

පැන්තාලිය

නා. මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මග අයිනේ තබා ඇති පැන් පිරවූ බඳුන; පැන් කළය

පැන්නුම

නා. වැවක වැඩි ජලය බැස යන කපොල්ල/ යම් සම්බන්ධතාවක් වෙන් කිරීම/ පලවා හැරීම