අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 213

පැමිණිල්ල

නා.ප්‍ර. දැන්වීම; දැනුම්දීම/ ගැටලුවක් නිරාකරණය පිණිස ඉදිරිපත් කෙරෙන ප්‍රකාශය

පැමිණෙනවා

ක්‍රි. සම්ප්‍රාප්ත වෙනවා; ළඟා වෙනවා

පැරණි

වි. පුරාණ; පෙරකලට අයත් (පා. සං. පුරාණ)

පැරැන්නා

නා. පුරාණ කාලයේ විසූ තැනැත්තා

පැල

නා. ගොවිතැන් ආදිය රැකීම සඳහා තනන ලද තාවකාලික නිවහන (සං. පල්ලි)

පැලඳීම

නා. ආභරණයෙන් සැරසීම

පැලපදියම

නා. ස්ථාවරත්වය; තහවුරු වීම

පැලඹෙනවා

1. ක්‍රි. විරාජමාන වෙනවා 2. ආශා වෙනවා; නැඹුරු වෙනවා (පා. පලොභෙති සං. ප්‍රලොභයති)

පැල්ලම

නා. ලපය; කැලල/ කිලුට

පැලැල්ල

නා. උණ බට ආදියේ ලී පතුරු එක්කොට තනන ආවරණය

පැලැස්තර

නා.ප්‍ර. තුවාලයකට අලවන බෙහෙත් යෙදූ රෙදිකඩ/ තාවකාලික පිළියම (ඉං. plaster)

පැලැස්ස

නා. කැලයෙන් වටවූ එළිමහන් බිම

පැස්ටරීකරණය

නා. කකාරවන ලද ද්‍රවයක් ක්ෂණික ව සිසිල් කිරීමෙන් බැක්ටීරියා විනාශ කිරීම (ඉං. pasteurisation)

පැසුණු

වි. මේරූ; මුහුකුරා ගිය

පැසුළු

නි. පසුව; පසුකාලයෙහි නා.ප්‍ර. පශ්චිම; පෑළදිග (පා. පච්ඡා, පච්ඡිම සං. පශ්චාත්, පශ්චිම)

පැහැදිලි

වි. මැනවින් දැකිය හැකි; ප්‍රභාවෙන් ජ්වලිත; නිරවුල්/ පිරිසිදු (සං. ප්‍රභාජ්වලිත)

පැහැදුල

වි. වර්ණයෙන් හෝ කාන්තියෙන් බබළන

පැහැසරණිය

නා. කාන්ති සමූහය; රශ්මි රාශිය

පැළ

1. නා.ප්‍ර. පැළෑටිය; ළපටි ගස 2. බටහිර දිසාව (සං. පච්ඡා)

පැළ ඉනි

නා.බහු. සිටවූ විට දලු ලා වැඩෙන ලී දඬු

පැළපත

නා. නැඟී ගෙන එන ගොයම

පැළපීය

නා. පැළවෙන පොල් ගෙඩියක ඇතුළත සෑදෙන මදය

පැළැන්තිය

නා. පරපුර; පෙළපත; වංශය

පැළෑටිය

නා. කුඩා පැළය

පැළුම

නා. විදාරණය වීම