අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 214

පෑල

නා. ධාන්‍ය මැනීම සඳහා භාවිත කරන මිනුමක නාමය/ වී පෑලක් වැපිරෙන වපසරිය

පෑළ

වි. බටහිර; පශ්චිම/ පසුපස/ මිනුමක නාමය

පෑළ දොර

නා. පිටුපස දොරටුව; බටහිර දිශාවේ පිහිටි දොර

පෑළවිය

නා. චන්ද්‍රමාස ක්‍රමයෙහි පළමුවන දිනය (පා. පාටිපද සං. ප්‍රතිපද්)

පිංගල

නා. බකමූණා/ ඇත් කුලයක නාමය/ රන්මන් පැහැය (පා. සං. පිඞ්ගල)

පිංගුත්තර

නා.ප්‍ර. උම්මග්ග ජාතකයේ චරිතයක්/ පව් කාරයා; කාලකණ්ණියා (පා. පිඞ්ගුත්තර)

පිංතාලිය

නා. පැන්තාලිය

පිංසෙණ්ඩු

නා.ප්‍ර. බැගෑපත් ව ඉල්ලීම; අයැදීම; පෙරැත්තය

පිඟු

නා.ප්‍ර. රන්වන් පැහැය; පිංගල වර්ණය (පා. සං. පිඞ්ගල)

පිච්ඡ

නා.ප්‍ර. මොනර පිල (පා. සං. පිච්ඡ)

පිඤ්ජර

නා.ප්‍ර. පිඟුවන් පැහැය/ රත්රන්/ හිරියල් (සං. පිඤ්ජර)

පිටංගණය

නා. මිදුලෙන් පිටත; පිළිකන්න

පිටකත්‍රය

නා. බුදු දහමේ සූත්‍ර, විනය හා අභිධර්ම යන කොටස් තුන

පිටකය

නා. කූඩය; පෙට්ටිය/ සූත්‍ර, විනය හා අභිධර්ම යන පිටකත්‍රයෙන් එකක් (පා. සං. පිටක)

පිටවාන

නා. වැවක වැඩි වතුර පිට කරන දොරටුව/ කුඹුරකට පිටතින්, ගොඩ අද්දර දිගේ ඇති ඇළ

පිටසක්වළ

නා. ලෝක ධාතුවෙන් බැහැර වූ විශ්වය; පරසක්වළ

පිටසන් කරනවා

ක්‍රි. අත්සන යොදා ලේඛනයක් සහතික කරනවා

පිටාරය

නා. ඇළ දොළ ගංගා ආදියෙහි ඉවුරු උතුරා ජලය ගලා යෑම

පිටිකාව

නා. ශරීරයේ ඇති වන පේශිමය නෙරුමක් (සං. පිටිකා)

පිටිතල අයනවා

ක්‍රි. දෑත පිටුපසට තබනවා

පිටිපතුල

නා. පතුලේ උඩ/ මතුපිට (පා. පිට්ඨිපාදතල)

පිටියුටරි ග්‍රන්ථිය

නා. පෘෂ්ඨවංශීන්ගේ මොළයේ තිබෙන නිර්නාල ග්‍රන්ථියක් (ඉං. pitiutary gland)

පිටිවහල

නා. උපකාරය; පිහිට; උපස්තම්භය