අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 280

ලිඟුව

නා. ලිංගය; රහසඟ (පා. සං. ලිඞ්ග)

ලිච්ඡවි

නා.ප්‍ර. බුදුන් දවස දඹදිව විසූ ක්ෂත්‍රිය වංශයට අයත් රජ පෙළපත (පා. ලිච්ඡවි)

ලිත

නා. දින, නැකැත්, තිථි ආදිය දක්වා ඇති පත්‍රිකාව හෝ පොත

ලිනන්

නා.ප්‍ර. ෆ්ලැක්ස් නම් හණ කෙඳිවලින් වියන රෙදි විශේෂයක් (ඉං. linen)

ලිපි ගොනුව

නා. ඒ ඒ විෂයයන්ට අදාළ ලිපි, චක්‍රලේඛ ආදිය අමුණා සකස් කළ ලිපි එකතුව

ලිපි ශීර්ෂය

නා. ලිපියක මාතෘකාව ලෙස යොදන පාඨය; ආයතනයක හෝ පුද්ගලයකුගේ තොරතුරු ඇතුළත්, ලිපි ලිවීමට භාවිත කරන පත්‍රිකාව

ලිපිකාරිනිය

නා. කාර්යාලයීය ලිපි ලේඛන කටයුතුවල යෙදෙන තැනැත්තිය

ලිපිනය

නා. ලිපි යොමුව

ලිපිලේඛන

නා.ප්‍ර. ලියන ලද පොත් පත්, ලියුම් ආදිය; ලියකියවිලි

ලිය

නා. වැල/ කාන්තාව (පා. සං. ලතා)

ලියකියවිලි

නා.බහු. ලිපිලේඛන

ලියතඹර

නා.ප්‍ර. කාන්තා රූපයට සමාන යැයි සැලකෙන කාල්පනික මල් විශේෂයක්

ලියදි

නා.ප්‍ර. නියරින් වට කළ කුඩා කුඹුරු කොටස

ලියමඬුලු

නා.ප්‍ර. ලියගොමුව

ලියමන

නා. ලියවිල්ල

ලියලනවා

ක්‍රි. ගස් වැල් අතුරිකිලි දමා වැඩෙනවා

ලියවැල

නා. කොළ හා මල් යොදා, සැරසිලි මෝස්තරයක් ලෙස ඇඳි රටාව

ලියවිල්ල

නා. ලියමන; ලේඛනය

ලියාපදිංචිය

නා. ලිපිලේඛන ආදියෙහි තොරතුරු ලේඛනගත කිරීම

ලිවිසැරිය

නා. ලියන ලද ලිපිලේඛන සමූහය; සාහිත්‍යය

ලිහනවා

ක්‍රි. ගැට, බැමි ආදිය බුරුල් කරනවා

ලිහිණි

නා.ප්‍ර. පක්ෂි විශේෂයක්

ලිහිනි

නා.ප්‍ර. නිරුවත් පුද්ගලයා

ලිහිල්

වි. සැහැල්ලු/ තේරුම් ගැනීමට පහසු/ බුරුල් (සං. ශිථිල)