අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 279

ලාමක

වි. මෝඩ; නොමේරූ; නින්දිත (පා. ලාමක)

ලාම්පුව

නා. ආලෝකය ලබා ගැනීම සඳහා දල්වන පහන (පුර්. lampada ල. lamp)

ලාමාවරු

නා.බහු. ටිබැටයෙහි බෞද්ධ පූජකවරු

ලාලනය

නා. නැළවීම; ආදරයෙන් පාලනය කිරීම (පා. සං. ලාලන)

ලාලස

වි. අධික ආශාව (සං. ලාලස)

ලාලිත්‍යය

නා. සුන්දරත්වය (සං. ලාලිත්‍ය)

ලාලිනී

නා.ප්‍ර. පොලඹවන්නී

ලාවණ්‍ය

වි. සිත්කලු; සිත්ගන්නා වූ (සං. ලාවණ්‍ය)

ලාවණික

නා.ප්‍ර. ලුණු මිශ්‍ර වතුර (සං. ලාවණික)

ලාවුලු

නා.ප්‍ර. කහපාට මදය සහිත මිහිරි පලතුරක්

ලාස

නා. ධාන්‍ය වර්ග මනින මිම්මක්; කුරුණිය

ලාස්‍ය

නා.ප්‍ර. නාට්‍ය ප්‍රභේදයක් (සං. ලාස්‍ය)

ලැකිය

නා. පොතපතෙන් හෝ ව්‍යවහාරයෙන් ගෙනහැර දක්වන උදාහරණය

ලැගුම්හල

නා. විශ්‍රාමය පිණිස නවතින ස්ථානය

ලැදි

වි. ලබ්ධියෙන් යුත්; භක්තිමත් (පා. ලද්ධි සං. ලබ්ධි)

ලැයිම

නා. කාමර වශයෙන් තැනූ නිවාස පේළිය/ වතු කම්කරු නිවාස සමූහය (ඉං. line)

ලැයිස්තුව

නා. වට්ටෝරුව (පුර්. lista ඉං. list)

ලැසි

වි. ඉක්මන් නොවූ; ලාලිත්‍යයෙන් යුත් (සං. ලාස්‍ය)

ලැහැස්තිය

නා. සූදානම (පුර්. lesto)

ලෑතර

නා.ප්‍ර. විස්කෝතු විශේෂයක් (පුර්. letra)

ලෑල්ල

නා. දැවයෙන් ඉරාගත් පළල් වූ තරමක් ඝන වූ පතුර

ලිංගික

වි. ස්ත්‍රීපුරුෂ භාවය හා සම්බන්ධ වූ (පා. ලිඞ්ගික)

ලිංගේන්ද්‍රිය

නා.ප්‍ර. ප්‍රජනක කාර්යයට සම්බන්ධ ඉන්ද්‍රියය

ලිඛිත

වි. ලියන ලද; ලේඛනගත කළ (පා. සං. ලිඛිත)