අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 357

සාධු

වි. මනෝඥ; යහපත්; සුදුසු; සත්පුරුෂ (පා. සං. සාධු)

සාන්ත

වි. සන්සුන්; දැමුණු; හික්මුණු (පා. සන්ත සං. ශාන්ත)

සාන්ද්‍ර

වි. ඝන වූ; උකු; ඇලෙනසුලු (සං. සාන්‍ද්‍ර)

සාන්ද්‍රණය

නා. උකු ගතිය; ප්‍රබලතාව/ ඒකක පරිමාවක අඩංගු අණුවල හෝ අයනවල හෝ සමානුපාතය (සං. සාන්‍ද්‍ර)

සාන්දෘෂ්ටික

වි. මෙලොවදී ම විපාක දෙන; සන්දිට්ඨික (සං. සාන්‍දෘෂ්ටික)

සානුකම්පක

වි. අනුකම්පාවෙන් යුතු

සානුව

නා. උස් වූ සම බිම; මුදුන (සං. සානු)

සාපය

නා. ශාපය

සාපරාධී

වි. අපරාධයක් වන; නීතියෙන් දඬුවම් ලැබිය හැකි

සාපේක්‍ෂ

වි. අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවත්නා; ස්වාධීන නොවූ (සං. සාපෙක්‍ෂ)

සාඵල්‍යය

නා. සාර්ථක භාවය; සඵල බව (සං. සාඵල්‍ය)

සාමග්‍රි

වි. සමගියෙන් යුත්; එකමුතුකමින් යුතු (සං. සාමග්‍රී)

සාමඤ්ඤඵල

නා.ප්‍ර. මහණදමෙහි ප්‍රතිඵලය (පා. සාමඤ්ඤඵල)

සාමණේර

නා.ප්‍ර. උපසම්පදා නොවූ පැවිදි තැනැත්තා (පා. සාමණේර)

සාමදාන විනිශ්චයකාරයා

නා. අධිකරණ බලතල රහිත ගරු නාමයක්; සාම විනිසුරුවරයා

සාමන්තයා

නා. අසල්වැසි රාජ්‍යයේ පාලකයා (සං. සාමන්ත)

සාමර්ථ්‍යය

නා. සමත් බව; දක්ෂ බව (සං. සාමර්ථ)

සාම්පලය

නා. සම්පූර්ණ දෙයකින් වෙන් කර ගත් කුඩා කොටස; නියැදිය (ඉං. sample)

සාම්ප්‍රදායික

වි. සම්ප්‍රදායයට අනුව ගිය (සං. සාම්ප්‍රදායික)

සාම්බ්‍රානි

නා.ප්‍ර. කට්ටකුමංජල් (දෙ. சாம்பிராணி මැ. සාම්රානි)

සාම්‍යය

නා. සමානත්වය (සං. සාම්‍ය)

සාමාන්‍ය

වි. පොදු; විශේෂ නොවූ/ සාධාරණ (සං. සාමාන්‍ය)

සාමාන්‍යාධිකාරී

නා.ප්‍ර. ආයතනයක විධායක නිලධරයා

සාමුද්‍රික

වි. සමුද්‍රයෙහි වූ; මුහුදෙහි හටගත් (සං. සාමුද්‍රික)