අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 356

සාකල්‍යය

නා. සියල්ල; සමස්තය (සං. සාකල්‍ය)

සාක්ෂරතාව

නා. අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව

සාක්ෂ්‍යය

නා. සාක්ෂිය (සං. සාක්‍ෂ්‍ය)

සාක්ෂාත්

වි. ප්‍රත්‍යක්ෂ වූ; අවබෝධ වූ (සං. සාක්‍ෂාත්)

සාක්ෂිය

නා. සහතික කොට ලබා දෙන ලිඛිත හෝ වාචික හෝ ප්‍රකාශය (සං. සාක්‍ෂි)

සාගතය

නා. දුර්භික්ෂය

සාගර මථනය

නා. කිරිසයුර කැලඹවීම

සාගින්න

නා. කුසගින්න (සං. ක්‍ෂුධාග්නි)

සාජ්ජය

නා. සමූහයක් එක් ව නැටුම්, ගැයුම්, වැයුම් ආදිය කරමින් ලබන විනෝදය

සාටකය

නා. ශාටකය (පා. සාටක සං. ශාටක)

සාටෝපය

නා. උදාරම් බව; මානයෙන් හෙබි ගතිය

සාත්ත්වික

වි. සත්ත්ව ගුණයෙන් හටගත්; සත්ත්ව ගුණයෙන් යුත් (සං. සාත්ත්‍වික, සාත්‍වික)

සාත්තු සප්පායම

නා. ඇප උපස්ථානය

සාත්විකාභිනය

නා. නෘත්‍යයේ දී මුහුණේ ඉරියව්, කටහඬ ආදිය වෙනස් කිරීම මගින් සිදු කරන භාව ප්‍රකාශනය

සාතිශය

වි. ඉතා අධික; අතිමහත් (සං. සාතිශය)

සාදය

නා. ප්‍රිය සම්භාෂණය

සාදිලිංගම්

නා.ප්‍ර. සායම් ලෙස භාවිත කෙරෙන රත් පැහැ ඛනිජ විශේෂයක් (දෙ. சாதிலிங்கம்)

සාධකය

නා. නිදසුන; හේතුව/ සංඛ්‍යාවක් කිසියම් ශේෂ නොමැති ව බෙදිය හැකි සංඛ්‍යාව (පා. සං. සාධක)

සාධනය

නා. සිද්ධ කිරීම; ඔප්පු කිරීම/ නිදසුන; යමක් ස්ඵුට කෙරෙන දෙය (පා. සං. සාධන)

සාධනීය

වි. යහපත් වූ; ඇගයිය යුතු/ සනාථ කෙරෙන; සිදු කර දෙන (සං. සාධනීය)

සාධ්‍ය

වි. සිදු කළ යුතු; සාධනය කළ යුතු/ සුව කළ හැකි; අසාධ්‍ය නොවන (සං. සාධ්‍ය)

සාධාරණ

වි. පොදු; එක් අයකුට සීමා නොවූ/ යුක්ති සහගත; අපක්‍ෂපාත (පා. සං. සාධාරණ)

සාධාරණීකරණය

නා. සමානත්වයට පත් කිරීම; පොදු බවට හැරවීම (පා. සං. සාධාරණීකරණ)

සාධිත

වි. සිදු කරන ලද/ සාධනය කරන ලද (සං. සාධිත)