අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 58

උඳුපියලි

නා.ප්‍ර. කුඩා පත්‍ර සහිත බිම පැතිරී වැවෙන පැළෑටි විශේෂයක්

උඳුවප්

නා.ප්‍ර. සිංහල මාස ක්‍රමයට අනුව වර්ෂයේ එක් මාසයක් හඳුන්වන නාමය; නොවැම්බර් මැද සිට දෙසැම්බර් මැද අතර කාලය

උපඍෂ්ට

වි. ඈඳුණු; බැඳුණු/ පීඩිත; කරදර සහිත වූ (සං. උපඍෂ්ට)

උපකරණ

නා.ප්‍ර. යම් කාර්යයක් කිරීමට උපකාර වන දෙය; ආම්පන්න (පා. සං. උපකරණ)

උපකල්පනය

නා. යම් අදහසක් තහවුරු වන තුරු නිවැරදිය යි අනුමාන කරන දෙය (සං. උපකල්පන)

උපක්ලේශ

නා.ප්‍ර. සිත කිලිටි කරන ධර්ම; විදර්ශනාවට බාධා පමුණුවන කරුණු; හිරු සඳු කෙලෙසන වස්තු (බෞ.සං. උපක්ලෙශ)

උපක්ෂේපය

නා. සඳහන් කිරීම; ඉඟි කිරීම; දැක්වීම (සං. උපක්‍ෂෙප)

උපක්‍රමය

නා. උපාය; ප්‍රයෝගය; අරමුණක් කරා යන පිළිවෙළ/ උපද්‍රවය; හිංසාව (සං. උපක්‍රම)

උපකුලපති

නා.ප්‍ර. විශ්වවිද්‍යාලයක පරිපාලන බලධරයා

උපකෘත

වි. උපකාරී වූ; යොදවා ගත් (සං. උපකෘත)

උපග්‍රන්ථය

නා. පොතක ප්‍රධාන කොටසට අමතර ව අගට එකතු කරන කොටස; පරිශිෂ්ටය (සං. උපග්‍රන්‍ථ)

උපග්‍රහණය

නා. යමක් සත්‍ය සේ පිළිගැනීම; උපකල්පනය

උපඝාතය

නා. පහරදීම; හිංසාව; උපද්‍රවය/ නැති කිරීම; විනාශය/ රෝගී වීම; කොර වීම/ අකුරු බර කර ශබ්ද කිරීම (පා. සං. උපඝාත)

උපචය

නා.ප්‍ර. රැස්කිරීම; ගොඩ ගැසීම/ වැඩීම; වර්ධනය (පා. සං. උපචය)

උපචරණය

නා. යම් වස්තුවක ලක්ෂණ වෙනත් වස්තුවකට ආරෝපණය කොට සැලකීම (පා. සං. උපචරණ)

උපච්ඡේදක

වි. වනසා ලන; සිඳ දමන (පා. උපච්ඡේදක)

උපචාරය

නා. සමීපයෙහි හැසිරීම/ යමක් අවට දොළොස් රියනක් ඇතුළත ප්‍රදේශය/ උපචරණය/ ගරු සැලකිල්ල; බුහුමන/ ප්‍රතිකාරය (පා. සං. උපචාර)

උපට්ඨානය

නා. එළඹ සිටීම/ උවටැන් කිරීම; උපස්ථානය (පා. උපට්ඨාන)

උපදංශ

නා.ප්‍ර. රස අවුළු; කට ගැස්ම/ කාම රෝගයක් (සං. උපදංශ)

උපද්‍රවය

නා. අනතුර; විපත (සං. උපද්‍රව)

උපදිෂ්ට

වි. පෙර දක්වන ලද/ පරස්පර විරෝධයන්ගෙන් තොර (සං. උපදිෂ්ට)

උපදේශක

නා.ප්‍ර. යම් කාර්යයකට මඟ පෙන්වන්නා; උපදෙස් දෙන තැනැත්තා

උපදේශනය

නා. ගැටලු නිරාකරණය කර ගැනීමට මඟ පෙන්වීම (සං. උපදෙශන)

උපදේශය

නා. අවවාදය; අනුශාසනය (සං. උපදෙශ)