සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1011

පලුද්ද

1. නා. ඉරිතැළීම්, පිපිරීම්, විකෘතිවීම් ආදි වශයෙන් කිසියම් භාණ්ඩයකට/වස්තුවකට සිදු වී ඇති දෝෂය.
2. කැළල ; තුවාල බඳු ලකුණ.
3. (පාරිභා.) ගැට විවර ආදිය නිසා අළුවල ඇති වන දෝෂයක්.

පලුපත

1. නා. රුවල් නැවක් හෝ ඔරුවක් හරවන පැතලි ලී පලුව ; හබල.
2. ළපටි දලුව ; ළා කොළය.

පලෝහනය

නා. ආශා කිරීම හෝ කරවීම ; ලෝභ කිරීම හෝ කරවීම; පෙලඹීම හෝ පෙලඹවීම.

පව

නා. ආගමික හා සදාචාර ධර්මානුකූල නොවන වැරදි ක්‍රියාව ; අකුශල ක්‍රියාව ; දුශ්චරිතය ; පාපය.

පවංකාව

නා. අතින් හෝ විදුලිය බලයෙන් හෝ ක්‍රියා කරවන අවන් පත.

පවත්

1. නා.ප්‍ර. පුවත ; ආරංචිය ; තොරතුරු ; ප්‍රවෘත්තිය.
2. වෘත්තාන්තය ; සිදුවීම ; සිද්ධිය.

පවතිනවා

ක්‍රි. තිබෙනවා විද්‍යමාන වෙනවා ; ඇතිවනවා ; ජීවත්වනවා.

පවන

1. නා. සුළඟ ; වාතය ; මාරුතය.
2. වනය ; උයන ; උපවනය.

පවන් ගහනවා

ක්‍රි. (විජිනිපත ආදි උපකරණයකින්) සුළං වැදෙන්නට සලස්වනවා ; එවැන්නකින් මඳ සුළං පහරක් යොමු කරනවා.

පවන් මග

නා. විජිනිපත ; වටාපත ; අවාන.
නා. පවන් හමන මාර්ගය හෙවත් අහස ; ගුවන ; අහස් මඟ.

පවන්දිය

නා. වැපිරීමට පළමු වී අංකුරවලට අවසන් වරට ඉසින ජලය.

පවර

1. වි. උතුම් ; ශ්‍රේෂ්ඨ.
2. ප්‍රසිද්ධ ; ප්‍රකට ; ප්‍රචලිත.

පවරනවා

1. ක්‍රි. ආරාධනා කරනවා ; නිමන්ත්‍රණය කරනවා.
2. යම්කිසි කටයුත්තක් භාර කරනවා ; අයිතිය හෝ වගකීම භාර දෙනවා.
3. (බෞද්ධ භික්ෂුන්) වස් කාලය අවසන් කරනවා ; පවාරණය කරනවා.

පවලන්

නා.ප්‍ර. පබළු ඇටවලින් කරන ලද ගෙල මාලය ; ඇටවැල.

පවස

නා. බීමට ඇති ආශාව ; පිපාසය : තිබහ.

පවසනවා

ක්‍රි. කියනවා ; ප්‍රකාශ කරනවා ; දෙසනවා.

පවස්

1. නා.ප්‍ර. කැමැත්ත ; අභිලාසය.
2. ප්‍රමාදය ; පමාව.

පව්කාරයා

නා. පව් කරන්නා ; පාප ක්‍රියාවල යෙදෙන පුද්ගලයා ; අකුසල් කරන්නා.

පවාරණය

1. නා. සතුටු කිරීම.
2. වැළකීම.
3. ප්‍රතික්ෂේප කිරීම ; අත්හැරීම.
4. බෞද්ධ භික්ෂූන් වස් කාලය අවසන් කිරීම ; අටසිල් හෝ දසසිල් හෝ රැකි ගිහියන් එයින් මිදීම.

පවාහ මාර්ගය

(පාරිභා.) නා. විද්‍යුත්ධාරා ගෙන යා හැකි පථය ; විදුලිය ගමන් කරවිය හැකි මග.

පවාළ

නා.ප්‍ර. පබළු.

පවැත්තා

නා. පව් ඇත්තා පව්කාරයා ; පාපී පුද්ගලයා.

පවිටා

නා. පව්කාරයා ; පාපී පුද්ගලයා ; පාපියා.

පවිටු

වි. බොහෝ සෙයින් පව්කාර වූ ; අතිශය පාපී ; බොහෝ සේ පාපිෂ්ඨ වූ.