සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1010

පල්ලිය

නා. ක්‍රිස්තු සහ මුස්ලිම් ආගම් අදහස ස්ථානය ; දෙව් මැදුර ; දේවස්ථානය ; ක්‍රිස්තියානි හෝ මුස්ලිම් දේවස්ථානය.

පල්ලියම

නා. (ක්‍රිස්ති.) අගරදගුරු තනතුරට විශේෂයෙන් හිමි උතුරු සළුව.

පල්ලුව

නා. සාරි, සෝමන වැනි ඇඳුම්වල අවශේෂ කොටසට වෙනස් වූ පාටින් යුක්ත ව ද මෝස්තර සහිත ව ද පවතින පටු කොටස ; බෝඩරය.

පල්හොරා

නා. දිගු කලක සිට හොරකමෙහි යෙදෙන හොරා ; මංපහරන හොරා.

පලා

1. නා.ප්‍ර.බහු. වෘක්ෂලතාවල කොළ ; දලු ; පල්ලව ; පර්ණ.
2. පලාවල පැහැය හෙවත් කොළ පැහය ; හරිත වර්ණය.

පලාපල

1. නා.බහු. ලොකු කුඩා ගෙඩි ; පලතුරු ; පලවැල.
2. (ජ්‍යෝති.) ග්‍රහ පිහිටීම් හා ගමන් ආදිය අනුව හට ගැනෙන සේ පිළිගැනෙන සුබ අසුබ දෙක ; ඵලාඵල.

පලාපෙති

නා.ප්‍ර. කොළ ආදර්ශ සේ ගෙන සකසා ගැනුණු ශෛලිගත සිංහල, චිත්‍ර මෝස්තරයක්.

පලාල පීඨක

නා.ප්‍ර. සම තුවාල නොවන පරිදි ශරීරයෙහි ඇට, මස් තලා පොඩි කොට සිදුරු බිස්සක් මෙන් කිරීමේ වධය.

පලාව

1. නා. කොළ වෑංජනය ; කොළ.
2. දැල් ඇස් ගෙතීමේ දී එහි ප්‍රමාණය දැක්වීමට ගැනෙන ලී පතුර හෝ කූර.

පලැංක්ටන්

(පාරිභා.) නා.ප්‍ර. සාගර, විල්, නදී ආදියෙහි පාවී යන ක්ෂුද්‍ර ප්‍රාණී විශේෂයක් ; ප්ලවාංග ; පැලැංක්ටන්.

පලිගන්නවා

ක්‍රි. කෙනෙකු කළ වරදට පෙරළා එකට එක කරනවා.

පලිගහනවා

1. ක්‍රි. තමන්ට වරදක් කළවුන්ට නපුරක් සිදුවීම සඳහා දෙවියන් යදිනවා ; ශාප කරනවා ; හවනවා ; අවලාද කරනවා.
2. තමන්ට දුන් දෙයක් මදි බව කියමින් තව තවත් ඉල්ලා සිටිනවා ; ඉල්ලමින් ඇවිටිලි කරනවා.

පලිච්චිය

(කථා.) නා. 1. සැහැල්ලු කොට කථා කිරීම ; හෙළා දැකීම.
2. පලිගැනීම ; ශාප කිරීම.

පලිත

නා.ප්‍ර. පැසුණු හිසකෙස් ; නරකෙස්.

පලිප්පු දෑම

(කථා.) නා.ප්‍ර. (රන් රිදී බඩු) ඔප දැමීම ; පැහැ ගැන්වීම.

පලිබෝධය

1. නා. හිරිහැරය ; බාධකය ; කරදරය.
2. වගාවලට හානි කරන වල් පැළෑටිය හෝ කෘමියා.

පලිය

1. නා. කළ වරදට පෙරළා කරන වරද පිරිමසා ගැනෙන එදිරිවාදුකම.
2. යම් තැනැත්තකුට නපුරක් කරන ලෙස දෙවියන් වෙත කරන යැදීම ; ශාපය ; අවලාදය.
3. පාඩුවක් උදෙසා ගෙවන වන්දිය.

පලිරෝධය

නා. පළිබෝධය ; බාධකය ; දෝෂය ; අපවාදය ; ආඩපාලිය.

පලිස

නා. සටනක දී පහර වැළැක්වීම පිණිස අතෙන් මෙහෙයවන ආයුධයක් ; පලිහ.

පලු

1. නා.ප්‍ර. දලු.
2. ශරීරයේ කැසීමෙන් හම මත නඟින කුඩා පලු.
3. කරල්.
4. බාගයක් වූ කොටස් ; බෑ.
5. වියළි කලාපික වෘක්ෂයක්.

පලු ඇණය

1. නා. ලී පලු හෝ ලෝහ ඛණ්ඩ දෙකක් එකට මූට්ටු කරන ඇණය.
2. නඟුලේ වක් අත්තට පතකඩය මූට්ටු කිරීමට ගසන කූඤ්ඤය.

පලු මුද්ද

නා. යතුරු ආදිය ගොනු කොට තැබීමට උපයෝගි කොට ගන්නා මුදු වෙසෙසක්.

පලු ලෑල්ල

නා. ඔරුවක අවර හෙවත් පසු කොනෙහි පසෙක සවි කොට පවතින පලුපත.

පලුකන්

(කථා.) නා.ප්‍ර. පීදෙන බුලත් වැලේ කුඩා රිකිල්ල ; බුලත් දලුව.