සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1015

පස් පිඩැල්ල

නා. තණකොළ ආදිය සමඟ එකට සිටින සේ උදැල්ලෙන් හෝ වෙනත් උපකරණයකින් කපා ගත් පස් කැටිය.

පස් පියුම්

නා.බහු. ඇඹුල් (ඕලු), උපුල් (මානෙල්), කුමුදු (හෙල්මැලි), රතු නෙළුම්, සුදු නෙළුම් යන පස.

පස් පුලුටු

නා.බහු. 1.ගින්නෙන් දවා පුලුස්සා ගත් ගොඩ දිය මස් පස් වර්ගය.
2. පුලුටු වශයෙන් පිදේනි තටුවල තබන්නට ගන්නා උඳු, මුං, තල, මෑ, වී යන ඇට පස් වර්ගය.

පස් පෙට්ටිය

(පාරිභා.) නා. ද්‍රව්‍ය හෝ වස්තූන් සමාන කිරීම සඳහා ප්‍රමිති කරන ලද ද්‍රව්‍ය සමූහය.

පස් බුදුහු

නා.බහු. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුවරුන් පස්නම ; කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම සහ (මතු බුදුවන) මෛත්‍රිය යන බුදුවරුන් පස්දෙනා වහන්සේ.

පස් මහබැලුම්

නා.ප්‍ර. පඤ්ච මහා විලෝකන බ.

පස් මහල

(පාරිභා.) නා. මතු පිටට සමාන්තර ව පිහිටි, පැහැදිලි ලක්ෂණ සහිත පස් තට්ටුවලින් එකක්.

පස් රුවන්

නා.ප්‍ර. දියමන්ති, ඉඳුනිල්, පද්මරාග, මුතු සහ පබළු යන පංචවිධ රත්න.

පස් ලද්දා

නා. පැරණි රාජ්‍ය පදවියක් ; පුරාණ ලංකාවෙහි පස්ස නමින් හැඳින්වුණු විශාල ප්‍රදේශයක පාලනය භාර ව සිටි නිලධාරියෙක්.

පස් ලුණු

නා.ප්‍ර. (ඖෂධ සඳහා ගන්නා) සහිඳ, මුහුදු, සුවස, බළල් සහ කළු යන ලුණු පස් වර්ගය.

පස් ලෝ

නා.ප්‍ර. පඤච ලෝහ බ.

පස් වෙළෙඳාම

නා. බෞද්ධයකු විසින් නොකටයුතු වෙළඳාම් පහ ; සතුන්, ආයුධ, මස්, මත්පැන්, විෂ යන – පස වැදෑරුම් වෙළඳාම.

පස්කම්

1. නා.ප්‍ර. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස සඳහා පවත්නා ලෝලත්වය ; පඤ්චකාමය.
2. ආයුර්වේදයෙහි විහිත පස් වැදෑරුම් ප්‍රතිකර්ම.

පස්කුළු

නා.ප්‍ර. ඖෂධ සඳහාත් ව්‍යඤ්ජන රසවත් කරනු සඳහාත් ගන්නා කුළුබඩු පස් වර්ගය ; (1) ඉඟුරු,ගම්මිරිස්, තිප්පිලි, අබ, වදකහ (2) සුදුදුරු, කළුදුරු, කොත්තමල්ලි, අබ, උළුහාල්.

පස්ගති

නා.ප්‍ර. පංචභති ; පුද්ගලයකුගේ මරණින් පසු ඉපදිය හැකි යැයි විශ්වාස කරන ගති හෙවත් උත්පත්ති තත්ත්ව පහ ; පඤ්චගති.

පස්ගෝරස

නා.ප්‍ර. ගවයන්ගෙන් ලබාගන්නා කිරි, දී, ගිතෙල්, මෝරු, වෙඬරු යන රස පහ.

පස්දොර

නා. පඤ්චද්වාර බ.

පස්ධාතු

නා.බහු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස යන මූල ධාතු පස.

පස්නා

1. වි. පැසෙන්නා වූ විපාක දුක් විඳින ; දුක් විපාකයෙන් දැවෙන.
2. ඉදෙන ; පැහෙන.

පස්පලවත

1. නා. බුලත්විටට ගන්නා ද්‍රව්‍ය පස් වර්ගය ; කපුරු, තකුල්, නාරංපොතු, ලමඟ හෙවත් කරාබු නැටි සහ ඉඟුරු.
2. සාදික්කා, තකුල්, එන්සාල්, අරළු, පුවක් යන පස.

පස්පලා

නා. බෙහෙතට ගන්නා කොළ පස් වර්ගය ; එරඬු, වරා, තිටිඟ, කුඹුරු, තොටිල යන කොළ පස් වර්ගය.

පස්පව්

නා.බහු. පන්සිල් රැකීමේ දී වැළකී සිටිය යුතු පාපධර්ම පහ ; අකුසල් පහ.

පස්පාට

නා.බහු. නිල, රන්වන්, රතු, සුදු, කළු යන වර්ණ පහ ; පස්පැහැ.

පස්පැණි

නා.බහු. මීපැණි, බඹර0, දෙබර0, කරාවේ0, දඩුවෙල්බෑ0 යන පැණිපස්වර්ගය.