සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1016

පස්බෑ රජහු

නා.බහු. සුද්ධෝදන, සුක්කෝදන, ධෝතෝදන, අමිතෝදන, මිතෝදන යන සහෝදර රජුන් පස් දෙනා.

පස්වග මහණ

නා.ප්‍ර. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පංච වර්ගීය ශ්‍රමණයන් වහන්සේ.

පස්වනක්

වි. ජාති පහකට අයත්; පඤ්ච වර්ගයක් සම්බන්ධ ; පස් වැදෑරුම්.

පස්වනක් ප්‍රීතිය

නා. පස්වැදෑරුම් සන්තෝෂය ; ක්ෂණික, ඛුද්දක, උද්වේග, ඔක්කන්තික සහ ඵරණ යන පංචවිධ ප්‍රීතිය.

පස්වරු

නා.ප්‍ර. අපරාහ්නය ; සවස් කාලය ; හිරු මුදුන්වීමෙන් පසු කාලය.

පස්වාදහස

නා. අවුරුදු පන් දහස ; පඤ්ච වර්ෂ සහස්‍රය.

පස්විකනවා

ක්‍රි. ප්‍රත්‍යවේක්ෂා කරනවා; නුවණින් මෙනෙහි කරනවා ; ප්‍රඥාවෙන් යුතු ව මනා සේ සලකා බලනවා.

පස්ස

1. නා. පිටුපස ; පසුපස.
2. පාර්ශ්වය ; පැත්ත ; ප්‍රදේශය.
3. පුරාණ ලංකාවේ විශාල ප්‍රදේශයක් හැඳින්වීමට භාවිත කළ නාමයක්.
4. (පාරිභා.) යතුකැටයේ කොටසක්.
1. වි. අවසානයට අයත් ; පශ්චිම.
2. පිටුපස වූ ; පශ්චාද්භාගයට අයත් වූ
3. ගතවුණු ; ගෙවී ගිය.
4. යට කොටසෙහි වූ.
5. මත්තෙහි වන.
6. අනුව යන.

පස්සද්ධ

වි. සන්සිඳුණු ; සන්හුන් ; නිවීගිය ; නිවුණු.

පස්සහදැමි

නා.ප්‍ර. භික්ඛු, භික්ඛුණී, සාමණේර, සාමණේරි, සික්ඛමානා යන පඤ්ච සහධම්මිකයෝ.

පස්සාවකුටි

නා.ප්‍ර. මුත්‍ර කිරිම සඳහා තනන ලද කුටිය ; කෙසකිළිය ; මුත්‍ර කුටිය.

පස්හී

නා.ප්‍ර. පියුම්, හෝපලු, මී අඹ, දෑසමන්, නිලුපුල් යන මල් සහිත හී පහක් දරන්නා වන අනඞ්ගයා ; මලවි ; පඤ්ච බාණ.

පසා කරනවා

ක්‍රි. අනෙක් පැත්තට යන පරිදි සිදුරු කරනවා , හිල් කරනවා ; පසාරු කරනවා.

පසාධන

නා.ප්‍ර. ප්‍රසාධනය ; වස්ත්‍රාභරණ ආදියෙන් සැරසීම ; අලංකරණය.

පසාරිත

වි. දික් කළ ; දිගු කළ.

පසැගිල්ල

නා. අතේ ඇඟිලි පහ ; පඤ්චාංගුලිය.

පසැස්

1. නා.ප්‍ර. බුදුරදුන් සතුව පැවැති ඇස් පස ; මසැස, දිවැස, පැණැස, සමතැස, බුදු ඇස.
2. පස් ඇස් ඇති උත්තමයා වන බුදුරජ.

පසිඳනවා

1. ක්‍රි. (කෙලෙස් ආදිය) සහමුලින් විනාශ කර දමනවා ; පහ කරනවා ; නැති කර දමනවා.
2. සන්සිඳවනවා; සන්සුන් කරනවා.
3. විසඳනවා ; විනිශ්චය කරනවා.
4. (ආහාරපාන ආදි අවශ්‍ය දෑ) සපයනවා ; සම්පාදනය කරනවා.

පසිඳින්නා

නා. තරගයක ජය පරාජය හා නීති උල්ලංඝනය පිළිබඳ තීරණය දෙන්නා.

පසිඳු

වි. ප්‍රසිද්ධ ; ප්‍රකට ; පතළ ; කීර්තිමත්.

පසී

[පස් + ඊ]
නා.ප්‍ර. ඊ පහක් ඇත්තා ; පඤ්චබාණ ; අනඞ්ගයා.

පසීනිදේහය

(පාරිභා.) නා. කොඳු ඇට සහිත සතුන්ගේ සංවේදක ස්නායු අග්‍ර විශේෂයක්.

පසු

1. නා.ප්‍ර. ගව, මුව ආදි සිවුපා සතා ; පශු බ.
2. පහ.
3. පිටුපස ;පසුපස.
4. පස් ; පාංශු.
5. පස ඇටය ; දාදු කැටය.
වි. පහසු ; සුව ඇති.

පසු කරනවා

1. ක්‍රි. ඉක්මවා යනවා ; දුර ගෙවනවා ; අතික්‍රමණය කරනවා ; (කාලය) ගෙවනවා.
2. යම්කිසි කටයුත්තක් කල්පහු කරනවා ; ප්‍රමාද කරනවා.
3. ඉදිරිපසින් සිටීම වළකනවා ; පස්සට කරනවා.
4. පරදවනවා ; යටත් කරනවා ; පසස්සට දමනවා.