සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1029

ප්‍රත්‍යය සමුත්පන්නතාව

නා. හේතුන් නිසා හටගත් බව ; සංඛත ධර්මයෙන් යුතු බව.

ප්‍රත්‍යයගේධය

නා. සිවුපසය කෙරෙහි ඇති කෑදර බව ; ආමිෂයෙහි ගිජු බව.

ප්‍රත්‍යයධර්ම

නා.ප්‍ර. (අභි.) ඒ ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්නා කරුණු ; ප්‍රත්‍යය පිළිබඳ ස්වභාව.

ප්‍රත්‍යයාගම

[ප්‍රත්‍යය + ආගම]
නා.ප්‍ර. (ව්‍යාක.) (පද සංග්‍රහයේ දී ඊට) අමුතුවෙන් ම ප්‍රත්‍යය (එකක් හෝ කීපයක්) එකතු වීම.

ප්‍රත්‍යයාන්ත

[ප්‍රත්‍යය + අන්ත]
වි. (ව්‍යාක.) ප්‍රත්‍යයකින් අවසාන වූ.

ප්‍රත්‍යයාන්තය

[ප්‍රත්‍යය + අන්තය]
නා. (ව්‍යාක.) (ප්‍රත්‍යයක් අන්ත කොට ඇති පදය යනු ව්‍යාච්‍යාර්ථයි) පද සාධනයේ දී අගට යොදනු ලබන ප්‍රත්‍යය සහිත පද.

ප්‍රත්‍යයාර්ථ

[ප්‍රත්‍යය + අර්ථ]
1. වි. (ව්‍යාක.) අර්ථවත් ප්‍රත්‍යයන් යෙදුණු ; අර්ථවත් ප්‍රත්‍ය අන්තකොට ඇති.
2. (අභි.) පැවැත්මට උපකාර වන යන අර්ථ ඇති.

ප්‍රත්‍යයාර්ථ නාමය

නා. (ව්‍යාක.) ධාතුවකින් හෝ නාමයකින් පරව අර්ථවත් ප්‍රත්‍ය යෙදීමෙන් සෑදෙන නාමපද විශේෂය.

ප්‍රත්‍යයාර්ථය

1. නා. (ව්‍යාක.) පද සංග්‍රහයේ දී යොදනු ලබන ප්‍රත්‍යයයන්ගේ අර්ථය.
2. (අභි.) (ප්‍රත්‍යය සමුත්පාදයට අයත්) හේතූන් පිළිබඳ අර්ථය.

ප්‍රත්‍යයෝත්පන්න

[ප්‍රත්‍යය + උත්පන්න]
වි. හේතුවෙන් උපන් ; (හේතු ඵල ධර්මයට අයත්) මූල කාරණයෙන් හටගත්.

ප්‍රත්‍යයෝත්පන්නය

නා. හේතුවෙන් හටගත් දැය ; මූල කාරණය නිසා ඇති වූ ඵලය ; ප්‍රත්‍යය නිසා උපන් ධර්මය.

ප්‍රත්‍යයෝපකාර

[ප්‍රත්‍යය + උපකාර]
නා.ප්‍ර. ආහාර, ඇඳුම්, බෙහෙත් ආදී ප්‍රත්‍යයන් ලබාදීමෙන් කරනු ලබන උපකාරය.

ප්‍රත්‍යර්ථි

නා.ප්‍ර. සතුරා ; විරුද්ධකාරයා ; පස මිතුරා.

ප්‍රත්‍යලාභී

වි. ප්‍රත්‍යය ලැබෙන ; සිවුපසය ලබන.

ප්‍රත්‍යවයව

[ප්‍රති + අවයව]
නා.ප්‍ර. සිරුරට අයත් සියලු අංග.

ප්‍රත්‍යවේක්ෂණ

[ප්‍රති + අවේක්ෂණ]
වි. නුවණ මෙහෙයවා බලන්නා වූ ; සිහි එලවා සලකා බලන.

ප්‍රත්‍යවේක්ෂණ ඥානය

නා. යෝගාවචර ආර්යයන් මාර්ගඵල නිර්වාණ ප්‍රහීන ක්ලේශ හා අවශිෂ්ට ක්ලේශයන් සලකා බලන එකුන් විසි ප්‍රභේදයකින් යුතු නුවණ.

ප්‍රත්‍යවේක්ෂණය

1. නා. (අභි.) නිර්වාණාවබෝධය සඳහා නවීන මාර්ග ඇති යෝගාවචරයාට පහළ වන ඥාන විශේෂය ; චතුස්සත්‍යය අරමුණු කොට අධිගමනය කළ මාර්ගඥානය හේතු කොටගෙන ඇති වූ අතීතානාගත ප්‍රත්‍යවේක්ෂණ ඥානය.
2. නුවණින් සලකා බැලීම ; විමසුම් සහිත ව කල්පනා කිරීම.
3. භික්ෂූන් විසින් චීවරාදී සිවුපසය (පරිභෝගයේ දී) එහි යථාතත්වය නුවණින් සලකා බැලීම.
4. නැවත විමසා බැලීම ; ආවර්ජනා කිරීම.
5. (දර්ශන.) ඥාන මාර්ගයක නාමය ; ගැඹුරු නුවණ ලැබෙන ක්‍රමයක්.

ප්‍රත්‍යස්ථිතිය

නා. පහසුවෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම.

ප්‍රත්‍යාක්ඛ්‍යානය

[ප්‍රති + ආඛ්‍යානය]
1. නා. නොසලකා අත් හැරීම.
2. දුරු කිරීම ; බැහැර කිරීම ; ප්‍රතික්ෂේප කිරීම.

ප්‍රත්‍යාගතිය

(පාරිභා.) නා. යම්කිසි වස්තුවක කලින් තිබූ හැඩය හෝ තත්ත්වය හෝ එහි ප්‍රත්‍යස්ථතාව හේතුකොට ගෙන ආපසු ලැබීම.

ප්‍රත්‍යාගමනය

1. නා. නැවත පැමිණීම ; පෙරළා ඒම.
2. සීමාන්තික තත්ත්වයකින් සාමාන්‍ය තත්ත්වයක් පහළ වීම ; ප්‍රතිගමනය ; ප්‍රතීපායනය ; ප්‍රතිගාමී වීම.
3. ප්‍රත්‍යාවර්තනය ; ආදි තත්ත්වයකට ආපසු යාම.

ප්‍රත්‍යාචාරය

නා. කළ ආචාරය වෙනුවට පෙරළා කරන ආචාරය ; ප්‍රත්‍යභිනන්දනය.

ප්‍රත්‍යාදේශ

නා.ප්‍ර. වැළැක්වීම ; ප්‍රතිෂේධය ; ප්‍රතික්ෂේප කිරීම.