සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1054

ප්‍රස්ඵෝටනය

1. නා. පිපිරීම ; පැළීම ; විහිදීම.
2. මල් පිපීම.
3. ධාන්‍ය පෙළීම.
4. කුල්ල.

ප්‍රස්‍යන්දය

නා. වැගිරීම ; ගැලීම.

ප්‍රස්‍රවණය

නා. උල්පත ; දිය ඌල.

ප්‍රස්‍රාවය

1. නා. වැගිරීම ; ගලා යෑම ; පිට වී යෑම.
2. මුත්‍ර.

ප්‍රස්‍රාවස්ථානය

නා. මූත්‍ර කරන ස්ථානය ; දියවටන් ගෙය ; කැසිකිළිය.

ප්‍රසාද

1. වි. පිරිසිදු ; පවිත්‍ර.
2. පැහැදිලි ; ප්‍රකට ; නිර්මල භාවය ඇති කරන.

ප්‍රසාද ගුණය

නා. ප්‍රකට අර්ථවත් පද යෙදීමෙන් කාව්‍යයක ඇති වන ගුණය.

ප්‍රසාද චක්ෂුස

නා. රූප දැකීමට උපකාර වන පරිදි ඇසෙහි පිහිටා ඇති ඔපය ; ඉදිරියෙහි ඇති වස්තුවල ඡායා වැටෙන කළු ඉංගිරියා මධ්‍යය ; චක්ෂු ප්‍රසාදය.

ප්‍රසාද දීමනාව

නා. කළ සේවයට පැහැදී දෙන දීමනාව ; පාරිතෝෂික දීමනාව ; ප්‍රසාද මුදල.

ප්‍රසාද රූප

නා.ප්‍ර. රූපාදි අරමුණු ගැනීමට උපකාර වන චක්ෂුරාදි ඉන්ද්‍රියවල ඔපය ; අරමුණු ගැනීමට සමත් ඉන්ද්‍රිය රූපය.

ප්‍රසාද සංවේගය

නා. පැහැදීම හා කනගාටුව ; සතුට හා ශෝකය ; පහන් සංවේගය.

ප්‍රසාද ස්නානය

නා. දියේ ගිල්වීමෙන් හෝ හිසට දිය ඉසීමෙන් හෝ කරන ආගමික වතාවත ; බෞතිස්මය ; ඥාන ස්නානය ; දේව ප්‍රසාද නිධානය.

ප්‍රසාදකර

1. වි. පැහැදීම ඇති කරන ; පහදවන =
2. දීප්තිමත් බව ඇති කරන.
3. පිරිසිදු කරන.

ප්‍රසාදන

1. වි. පිරිසිදු ; පවිත්‍ර.
2. පැහැදිලි.
3. පහදවන්නා වූ ; ප්‍රසාදය ගෙන දෙන.

ප්‍රසාදනය

1. නා. පිරිසිදු කිරීම ; පවිත්‍රබව.
2. සැරසීම ; අලංකාර කිරීම.

ප්‍රසාදනාගාරය

නා. ඛණිජ තෙල් ආදිය ශුද්ධ කරන ස්ථානය ; පිරිපහදුව.

ප්‍රසාදය

1. නා. පැහැදීම ; සතුට සොම්නස.
2. තුටු පඬුර ; පැහැදීම නිසා දෙනු ලබන ත්‍යාගය ; ප්‍රාභෘතය.
3. කළ සේවයට පැහැදීම නිසා සේවකයකූට දෙන විශේෂ දීමනාව.
4. ඔපය ; දීප්තිය ; පැහැය.

ප්‍රසාධක

1. වි. කාර්ය සාධක ; ක්‍රියාකාරී.
2. ආභරණ පලඳවන ලද ; සරසන ලද ; ප්‍රසාධනය කරන ලද.

ප්‍රසාධනය

1. නා. පැලඳීම ; සැරසීම.
2. පලඳනාව ; ආභරණය ; පහයින ; ආයිත්තම.
3. ඉටු කිරීම; ඉෂ්ට කිරීම.

ප්‍රසාරණය

1. නා. (නමන ලද අත්පා ආදිය) දික් කිරීම ; දිග හැරීම.
2. උෂ්ණත්වය වැඩි වීම හෝ පීඩනය අඩු වීම නිසා හෝ වස්තුවක් විශාල වීම.
3. මිල මට්ටම ඉතා වේගවත් ලෙස ඉහළ නැඟීම.

ප්‍රසාරි

1. වි. දිග හැරෙන ; ප්‍රසාරණය වන ; පැතිරෙන.
2. ගලා යන.
3. හෙමින් යන.
නා.ප්‍ර. ගීත ගායනයේ දී මුඛය බොහෝ සේ හැරීමෙන් හෝ පළල් කිරීමෙන් ගී කීම ආශ්‍රිත දෝෂය.

ප්‍රසාරිණී පේශි

නා.ප්‍ර. ශරීරයේ අත් පා ආදි අවයව දිග හැරීමට උපකාර වන මස් පිඬු ; ප්‍රසාරණය සිදු කරන මාංස පේශි.

ප්‍රසික් අම්ලය

(පාරිභා.) නා. හයිඩ්රජන් සයනයිඩ් ද්‍රාවණය.

ප්‍රසිද්ධ

1. වි. බොහෝ දෙනා දන්නා හඳුනන ; ප්‍රකට ; ප්‍රචලිත ; පතළ.
2. පොදු ජනතාවට අදාළ ; රජයට හෝ මහජනයාට සම්බන්ධ ; පොදු ; විවෘත.