සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1083

පිටවගුර

නා. මඩ වූ තැන ; ගොහොරුව.

පිටවන්න

(කථා.) නා. බිම එලා නිදන පැදුර හෝ සම්කඩ.

පිටවසට

නා.ප්‍ර. පිට මැද දිගට තිබෙන ඇට පේළිය ; කොඳු ඇට ; කොන්ද ; කශේරුකාව.

පිටවහල් කරනවා

ක්‍රි. රටින් පිට කරනවා ; නෙරපනවා ; ගෝත්‍රයෙන් ඉවතලනවා.

පිටවාන

නා. වැවක වැඩි වතුර පිට වීම සඳහා එහි වේල්ලේ පහත් කොට සාදන ලද ඉඩ කඩ.

පිටවෙනවා

1. ක්‍රි. නිවසක් ශාලාවක් වැනි ගොඩනැගිල්ලක් එළියට බහිනවා.
2. නැවතී සිටි තැනකින් ඉවත් වෙනවා.
3. ද්‍රව යුෂ වැනි දෙයක් බැහැරට ගලනවා ; ස්‍රාවය වෙනවා.
3. ඇතුළත හිර වී තිබෙන දෙයක් එළියට එනවා.

පිටසක්වළ

නා. (සතර මහාද්වීපයෙන් යුත්) මේ සක්වළින් පිටස්තර වූ සක්වළ ; පර සක්වළ.

පිටසන

නා. යම්කිසි ලියවිල්ලක් අනුමත කිරීම ; ලිපියක යම් ප්‍රකාශයක් සහතික කිරීම ආදිය සඳහා අත්සන යෙදීම ; චෙක්පත් ආදියෙහි පිටපැත්තේ අත්සන් කිරීම.

පිටසම

නා. සත්ත්ව ශරීරය මතුපිටින් වසා සිටින තුනී සිවිය.

පිටස්තර

වි. බාහිර ; පිටින් වූ ; අන්‍ය වූ ; වෙනස් වූ ; ඈතින් වූ.

පිටසැකිල්ල

නා. (සත්ව.) ඇතැම් සතුන්ගේ ශරීරයේ පිටතින් තිබෙන කංකාලය.

පිටසැකිලි හැලීම

(පාරිභා.) නා. බොහෝ සර්පයන්ගේ හා සන්ධිපාදිකයන්ගේ හම් හෝ කටු ආවරණයේ බාහිර තට්ටු හැලීම ; හැව ඇරීම.

පිටසිවිය

(පාරිභා.) නා. බීජාණුවක බිත්තිය නිර්මාණය වී ඇති පටල දෙක අතුරෙන් බැහැරින් පිහිටි පටලය.

පිට්ටනිය

නා. ගස් කොලන් නැති එළිමහන් පෙදෙස ; පිටිය ; හිස් තැනිතලා පෙදෙස.

පිට්ඨි කණ්ටකය

1. නා. පිටිකොඳු ඇටය ; පිටිකොන්ද.
2. යම් යම් දේ එල්ලා තැබීම පිණිස බිත්තියෙහි සවි කරනු ලබන කණුව ; බිතු ඇණය.

පිටාර

වි. පිටතට ගලා යන ; පිටාරය සිදු කරන.

පිටාරය

1. නා. ජලය ඉතිරි පිටට ගලායාම ; ගංගා, ඇළ, දොළ උතුරායාම ; වැසි ජලයෙන් ගොඩබිම යට වීම.
2. එන්ජිමක් ක්‍රියා කිරීමේ දී එහි තෙල් පිට වී යාම.

පිටි

1. නා.ප්‍ර. ධාන්‍ය සහ ඝන කරන ලද කිරි ආදිය කොටා අඹරා සාදා ගනු ලබන කුඩු.
2. එළිමහන් තැනි බිම් ; පිට්ටනි.
3. තණ බිම් ; තෘණ භූමි.
වි. පිටත ; පිටිපස ; බැහැර.

පිටිකර

1. නා.ප්‍ර. බෙල්ලේ පිට පැත්ත.
2. අත්ලේ පිට පැත්ත ; පිටි අල්ල.

පිටිකාව

1. නා. හමේ ඇති වන කේතුකාකාර කුඩා ගැටය ; කුරුලෑව ; තරුණ පිළිකාව.
2. ඇඟිලි තුඩු, දිව මුදුන, දතක, කෙස්ගසක මුල යන තැනෙක්හි නෙරූ මෘදුල පටක කේතුව.
3. මල් පෙත්තක් මතුයෙහි වූ කුඩා නෙරුව.

පිටිදකිනවා

1. ක්‍රි. පිටත් කරනවා ; පළවා හරිනවා ; දුර ලනවා ; ඉවතලනවා ; තුරන් කරනවා.
2. පරාජය කරනවා ; වනසනවා.

පිටින්

1. ක්‍රි.වි. එක්ක ; සමග ; සහිත ව.
2. සහමුලින් ; මුළුමනින්.

පිටිපතුල

නා. පතුලේ උඩ පැත්ත ; පිටිපත්ල.

පිටිපස

1. නා. ඉදිරිපසට විරුද්ධ දිශාව ; මුහුණ ලා සිටින පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත.
2. පිට කොන්ද.

පිටිපානවා

1. ක්‍රි. මුහුණ ලා සිටින පැත්තට පිටුපස හරවනවා ; ප්‍රතිවිරුද්ධ දිශාවට අභිමුඛ වෙනවා.
2. ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා ; පටහැනි වෙනවා.
3. නොසලකා හරිනවා ; මඟහරිනවා.