සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1084

පිටිය

1. නා. එළිමහන් සමතලා තැනි බිම ; පිට්ටනිය.
2. තණ බිම.

පිටියුටරි ග්‍රන්ථිය

(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ මොළය පත්ලට වන්නට පිහිටා ඇතිව ශරීර වර්ධනය සඳහා හෝමෝන උපදවන ග්‍රන්ථියක් ; පිටියුටරිය.

පිටිවහල

නා. උදව්ව ; උපකාරය ; උපස්තම්භය ; පිහිට.

පිටිවහල් කරනවා

1. ක්‍රි. උදවුවෙනවා ; උපකාරවෙනවා.
2. පිට පෙදෙසකට නෙරපා හරිනවා ; රටින් පලවා හරිනවා.

පිටිසර

නා.ප්‍ර. නගරයකින් දුර බැහැර ප්‍රදේශය ; ගම්බද පෙදෙස ; පසල් දෙස.

පිටු දකිනවා

ක්‍රි. පන්නනවා ; පලවා හරිනවා ; නෙරපනවා.

පිටු දෙනවා

1. ක්‍රි. උදවු වෙනවා ; පිහිට වෙනවා ; උපකාරි වෙනවා ; පිටුබල සපයනවා.
2. මුහුණ දීමට ඉදිරිපත් නොවී මඟ හරිනවා ; බියෙන් පලා යනවා ; සැඟවෙනවා.

පිටුබල

නා.ප්‍ර. උපකාරය ; අත් උදව්ව ; පිටුවහල.

පිඨරය

1. නා. මුට්ටිය ; මහ හැළිය.
2. හැඳිගෑම හෝ කැලඹීම සඳහා භාවිත කරන පැතලි ලීය ; මතය ; මන්ථය.

පිඩ

1. නා.ප්‍ර. ගුළි කරනු ලැබූ දෙය.
2. ආහාර පිඩ ; වරකට මුව තුළට ගනු ලබන ආහාර ප්‍රමාණය.
3. අතට ගත හැකි තරමේ සුළු ප්‍රමාණයක්.

පිඩැල්ල

නා. උදලු පහරකට වරකට කැපෙන පස් කුට්ටිය.

පිඩු කරනවා

1. ක්‍රි. ගුළි බවට පත් කරනවා ; කැටි කරනවා.
2. සම්පිණ්ඩනය කරනවා ; සාරාංශ කරනවා.

පිඩු සිඟනවා

ක්‍රි. (පැවිදි උතුමකු) ආහාර සඳහා ගෙපිළිවෙළින් යනවා · පිණ්ඩපාතයේ වඩිනවා.

පිණනවා

ක්‍රි. සතුටු වෙනවා ; සන්තෝෂ වෙනවා ; ප්‍රමුදිත ඇති වෙනවා.

පිණ්ඩපාතිකාංගය

නා. පිඬු සිගීමෙන් ලැබෙන ආහාරය පමණක් අනුභව කිරීමෙන් රකින ව්‍රත සමාදානය.

පිණ්ඩය

1. නා. ගුළි කරනු ලැබූ දෙය ; පිඬු කළ දෙය ; කැටිය ; පිඬ ; වරකට මුව තුළට ගන්නා ආහාර ටික
2. සාරය ; සාරාංශය.
3. මූර්තය ; ආකෘතිය.
4. සංඛ්‍යා එකතු කිරීම වැනි ගණන් ක්‍රමයකින් ලබාගන්නා ඵලය හෙවත් උත්තරය.
5. මියගියවුන් පිණිස දෙන ආහාර දානය.
6. යකඩ.
7. ශක්තිය ; බලය.
8. සුගන්ධ ද්‍රව්‍යය ; සුවඳ ලාටු.
9. කලල රූපය.
10. කප්පිය ; ගුටකය ; බොලොක්කය.
11. නෙරීම ; ඉදිමුම.

පිණ්ඩාකාරය

[පිණ්ඩ + ආකාරය]
නා. ගුලියක හැඩය ; ගුටිකාකාරය.

පිණ්ඩාර්ථය

[පිණ්ඩ + අර්ථය]
නා. පිඬු කළ අදහස ; කැටි කළ අරුත ; සංක්ෂිප්තාර්ථය.

පිණ්ඩිකාව

1. නා. උඩු පතුල.
2. රියසක ; සක්නැබ ; බොස්ගෙඩිය.
3. පෙණහැල්ල, අක්මාව යන අවයවවල පවතින ගෝලාකාර ද්‍රව්‍ය විශේෂය.

පිණ්ඩිය

1. නා. කැටය ; කැටිය ; වැදැල්ල ; ගුළිය ; පිඬ.
2. පොකුර ; වල්ල.

පිණ්ඩිලයා

නා. දෛවඥයා ; නක්ෂත්‍ර විද්‍යාඥයා ; නැකැත්කරුවා.

පිණ්‍යාක

1. නා.ප්‍ර. තල ඇට ආදියේ තෙල් මිරිකා ගැනීමෙන් පසු ඉතිරි වන රොඩ්ඩ ; තල පුන්නක්කු.
2. සුගන්ධ ද්‍රව්‍ය.
3. තල කැරලි

පිණි

1. වි. පිණාගිය ; සංතෘප්ත.
2. ඉතා මිහිරි ; ප්‍රණීත.