සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1086

පින

1. නා. යහපත ; කුසලය ; පුණ්‍යය.
2. යහපත හා සම්බන්ධ කාර්යය.
3. යහපත් ක්‍රියා කිරීමෙන් හට ගැනී, පවතින ආත්මභාවයේ දී නොහොත් (විශේෂයෙන්) අනාගත ආත්මභවයේ දී යහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි චෛතසික බලවේගය.

පිනනවා

ක්‍රි. සතුටු වෙනවා ; ප්‍රීති වෙනවා ; ප්‍රිය කරනවා.

පින් අනුමෝදනාව

නා. කළ පින් අනුව සතුටු වීම.

පින් කිරිය

නා. පුණ්‍යක්‍රියාව.

පින් දෙනවා

ක්‍රි. පින් අනුමෝදන් කරනවා ; ප්‍රාප්තිදානය කරනවා ; යමකු විසින් ඉටු කරන ලද පින්කමකින් හට ගැනෙන පින අනුන් වෙත ද පවරනවා.

පින් පඩිය

නා. සේවාවන් නොගෙන ජීවත්වීම සඳහා කෙනකුට ගෙවන වැටුප.

පින් පත්‍රය

නා. සම්මාදම් පත්‍රය.

පින්තාරුකරුවා

නා. චිත්‍ර අඳින්නා ; සායම් කරන්නා.

පින්තූරය

නා. ඡායාරූපය ; සිතුවම ; රූපය ; චිත්‍රය.

පින්තොට

නා. ආධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා ජලස්නානය කරන ගංතොට ; පුණ්‍ය තීර්ථය.

පින්පෙත්

නා.ප්‍ර. මළගිය අයට එලොව යහපත පතා දෙනු ලබන පින්.

පින්බර

වි. පුණ්‍ය ලක්ෂණයෙන් හෙබි ; අතිශයින් පින්වත්.

පින්සලය

නා. චිත්‍ර ඇඳීමේ දී හෝ පින්තාරු කිරීමෙ දී සායම් තැවරීම සඳහා ගන්නා කෙඳි සහිත උපකරණය ; බුරුසුව ; තෙලිකූර.

පිනි

1. නා.ප්‍ර. රැයෙහි තණකොළ ආදියෙහි වැටෙන සිහින් සිසිල් දිය බින්දු; තුෂාර
2. මිදුණු ජලය ; හිම.
3. මත්ස්‍යයා.
4. මහනෙල් මල.

පිනි බානවා

ක්‍රි. පිනි වැටෙනවා.

පිනිඅංකය

(පාරිභා.) නා. (භූගෝ.) වාතයේ පවතින වාෂ්ප සිසිල් වී ඝනවීමෙන් පිනි බවට හැරෙන උෂ්ණත්වය දක්වන අංකය.

පිනිදිය

1. නා.ප්‍ර. පිනි නමැති ජලය ; පින්නෙන් ඇති වන ජලය ; තුෂාර.
2. සුවඳ දියර වර්ගයක්.
3. බෙලි හෝ දිවුල් මල් තැම්බීමෙන් පෙරා ගත් ස්‍රාවණය.
4. මල්පැණි.

පිනිපා

1. නා. සඳ ; චන්ද්‍රයා ; උලිඳු.
2. ඇතා ; හස්තියා.
3. හාවා.
4. මත්ස්‍යයා.

පිනුම

නා. පා බිම නොතබා සිටින තැන සිට තවත් තැනකට මාරුවීම.

පිපටය

නා. ද්‍රව මනින උපකරණයක්; ද්‍රව මානයක් ; නාලිකාව.

පිපාසය

නා. දිය බීමට ඇති වුවමනාව ; පැන් පවස ; තිබහ.

පිපිරෙනවා

ක්‍රි. පැළෙනවා ; කැබලි කැඩී වෙන් වෙනවා; ගැහී යනවා.

පිපෙනවා

1. ක්‍රි. පිම්බී එනවා ; මහත් වෙනවා.
2. විකසිත වෙනවා ; පුබුදු වෙනවා.

පිබිදෙනවා

ක්‍රි. නින්දෙන් නැඟී සිටිනවා ; අවදි වෙනවා ; ප්‍රබුද්ධ වෙනවා.