සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1123

පෙරදිග මුතු ඇටය

නා. බටහිරවාසීන් විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය සහ ශ්‍රී සමෘද්ධිය දැක්වීම සඳහා භාවිත කරන ලද උපපදයක්.

පෙරදුරු

1. නා.ප්‍ර. මුල් ම ගුරුවරයන් හෙවත් පූර්වාචාර්යයන් වන මව හෝ පියා
2. පුරාණ කාලයේ සිටි මහ පඬිවරයා ; ආදි විශාරදයා.

පෙරනවා

ක්‍රි. පෙරහනයක් නොහොත් fපිල්ටරයක් මඟින් යම් ද්‍රවයක රැඳි කුණු-රොඩු ඉවත් කරනවා.

පෙරපය

1. නා. (සිවුපා ආදී සතුන්ගේ) ඉදිරි පාදය ; පූර්ව වූ පාදය.
2. (පාරිභා.) බඩගා යන සතුන්ගේ හිසට යටින් නෙරා ඇති පාදයෙහි ඉදිරි කොටස.

පෙරපස

1. නා. පුර පෑළවිය පටන් පසළොස්වක දක්වා කාලය ; පූර්ව පක්ෂය.
2. ඉදිරි පස.
3. නැගෙනහිර දිශාව.

පෙරබත් කිස

නා. දවල් ආහාරයට පෙර ඉටු කිරිමට නියමිත වැඩ කටයුතු.

පෙරබිම

1. නා. (භූගෝ.) භූමිචලන නිසා පොළොවේ ද්‍රෝණි තෙරපී යෑමේ දී පහත් වී ගිය ඉදිරි කොටස.
2. චිත්‍රයක් ඇඳීමේ දී භූමි රේඛාවෙන් මෙපිට පිහිටි පහළ කොටස.

පෙරමාලය

නා. ආලින්දය ; පිල ; ඉස්තෝප්පුව; පහත මාලය.

පෙරමුණ

1. නා. ඉදිරි පාර්ශ්වය ; ඉදිරිපස ; ඉස්සරහ පැත්ත.
2. ඉදිරිය ; ඉස්සරහ ; අභිමුඛය.
3. සටන සිදු වන භූමිය ; සටන්බිම ; සතුරාට මුහුණලා පවතින ප්‍රදේශය නොහොත් සිටින හමුදාව.
4. මූලිකත්වය ; මෙහෙයුම.
5. වැව් අමුණක ඉදිරි කොටස.

පෙරමුණ ගන්නවා

ක්‍රි. මූලිකත්වය ගන්නවා ; ඉදිරියෙන් සිටිනවා ; මූලිකත්වය ගෙන ඉදිරිපත් වෙනවා.

පෙරඹර

[පෙර + අඹර]
නා. පෙරදිග ආකාශය ; නැගෙනහිර දිග අහස.

පෙරයම

නා. ඉර අවරට ගිය තැන් පටන් සිංහල පැයෙන් දස පැයක් ගතවෙන කාලය ; පූර්ව යාමය ; ප්‍රථම යාමය.

පෙරරැස

නා. රාශි චක්‍රයේ ප්‍රථම – රාශිය ; මේෂ රාශිය.

පෙරරූ සඳ

නා.ප්‍ර. (ව්‍යාක.) සිංහල භාෂාවේ සන්ධි විධියක්; මුල පදයේ අග අකුරේ රූපය _ පසු පදයේ මුල අකුරට පැමිණවීමෙන් සිද්ධ කරන සන්ධිය ; පූර්වරූප සන්ධිය.

පෙරවදන

නා. යම්කිසි කෘතියක් කිරීමේ දී ඒ පිළිබඳ මූලික ව කරන හැඳින්වීම ; සංඥාපනය ; ආරම්භක විස්තරය.

පෙරවරුව

නා. ඉර පෑවූ තැන සිට ඉර මුදුන් වන තැන තෙක් කාලය ; පූර්ව භාගය ; පූර්වාහ්නය.

පෙරවහර

නා. අතීතයේ දී පැවති භාෂා ප්‍රයෝගය ; පැරණි ව්‍යවහාරය.

පෙරවාසය

නා. (ක්‍රිස්ති.) 1. මතුවට සිදු වන දෙය කල්තියා කීම ; අනාගත සිද්ධි ප්‍රකාශනය ; භාවී කථනය.
2. පෙර භවයෙහි එක් ව සිටීම , පූර්වයෙහි එකට ජීවත් වීම.

පෙරවැස්ම

නා. ඇඳුමට මත්තෙන් ඇඳුම කිලිටි නොවීම පිණිස අඳින ආවරණය ; ශරීරයෙහි ඉදිරි කොටස වසා සිටින සේ ඇඳුමට මත්තෙන් අඳින ප්‍රාවරණය ; තාවාඩම.

පෙරවි දද

නා.ප්‍ර. රජකුගේ අග්‍ර උපදේශක තනතුර දරන බමුණා ; පුරෝහිත බ්‍රාහ්මණයා.

පෙරවිතන්

නා.ප්‍ර. රජුගේ අග්‍ර උපදේශක තනතුර ; පෙරවිකම; පුරෝහිත තනතුර.

පෙරස් ක්ලෝරයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) ජලයෙහි ද්‍රාවණය වන ඒකාන්තික ස්ඵටිකයක්.

පෙරස් ලෝහ

(පාරිභා.) නා.ප්‍ර. ලෝහ වර්ග ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් දෙකෙන් එකක් ; ද්විජ සංයුජ යකඩ හා සම්බන්ධ ලෝහ.

පෙරහංකඩය

නා. අපද්‍රව්‍ය ඉවත් කර වතුර පෙරා ගැනීම සඳහා රෙදි කඩකින් තනා ගන්නා උපකරණය.