සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1140

බඩඇල්

නා.ප්‍ර. පැරණි සිංහල වී වර්ගයක්.

බඩකිරිඇල්

නා.ප්‍ර. පැරණි සිංහල වී වර්ගයක්.

බඩගත්තර

1. වි. කෑමට බලවත් ආශාවක් දක්වන ; කොතෙක් කෑවත් සෑහීමට පත් නොවන ; ඉතා කෑදර ; බඩජාරි.
2. තමන්ගේ යහපත පමණක් සලකන ; තම වාසිය උදෙසා ඕනෑ ම පහත් වැඩක් කරන.

බඩගානවා

1. ක්‍රි. බඩ බිම ගාවමින් ඉදිරියට ඇදෙනවා.
2. ඉතා සෙමින් ඉදිරියට ගමන් කරනවා ; මන්දගාමී ප්‍රගතියක් ලබනවා.
3.ගස් නඟිනවා.

බඩගින්න

1. නා. ආහාර අවශ්‍යතාව නිසා පේශීන් සංකෝචනයෙන් ආමාශයේ ඇතිවන සංවේදනය ; ක්ෂුධාව ; කුසගින්න.
2. ආහාර දිරවීමේ ශක්තිය ; ජඨරාග්නිය.
3. කෑම රුචිය ; ආහාර ප්‍රියතාව.

බඩගෝස්තරය

නා. එදිනෙදා දිවි රැක ගැනීමට අවශ්‍ය ආහාර ඇතුළු මූලික දේ.

බඩට ගහනවා

(කථා.) ක්‍රි. යමකුගේ ජීවනෝපායයට හානි කරනවා ; ආර්ථික වශයෙන් හානි සිදු කරනවා ; කෙනෙකුගේ යහපතට බාධා කරනවා.

බඩදලය

නා. බඩගින්න ; කුසගින්න.

බඩදලයා

නා. බඩගින්නෙන් පෙළෙන්නා ; කුසගින්නෙන් පීඩිතයා.

බඩදිය

නා.ප්‍ර. මුත්‍ර ; සුළුදිය.

බඩදිව

නා. ආමාශයටත් ඇලදිවටත් වම්පසින් පිහිටි මස්කැටියක් වැනි දම් පැහැති අවයවය ; පිලාව ; ප්ලීහාව.

බඩපිස්සා

නා. මවකට අන්තිමට ම උපදින දරුවා ; පවුලක බාලයා ; කිස්යොවුන් දරුවා.

බඩමූණ

නා. හිස නැති මළසිරුර ; කවන්ධරූපය.

බඩය

1. නා. තාල වර්ගයේ සහ අතු නොබෙදෙන කෙසෙල් වැනි ගස්වල කඳ මැද දිගට දිවෙන මෘදු කෙටස ; බොඩය ; මජ්ජාව.
2. පීදීගෙන එන ගොයම් ගසේ පිටතට නො ආ කරල ; ගොයම් බණ්ඩිය.

බඩරුජාව

1. නා. බඩේ කැක්කුම ; උදර වේදනාව.
2. දරු ප්‍රසූතිය ඉතා ආසන්න වූ විට මවකගේ ගර්භාෂය ප්‍රදේශයෙහි ඇතිවන වේදනාව ; විළි රුදාව ; ප්‍රසව වේදනාව.

බඩල්

නා.ප්‍ර. රන්රිදී කර්මාන්ත කිරීමේ පරම්පරාගත නිපුණත්වයක් ලබා ඇති කුලය ; ඊට අයත් පුද්ගලයා.

බඩවක

1. නා. කුසෙහි වළ ගැසීම.
2. බඩින් කුදුවීම.
3. යමක ඇතුළට හැරුණු නැම්ම.

බඩවත

1. නා. මත්ස්‍ය ආදීන්ගේ බඩේ යටිපැත්ත ; සිවුපාවුන්ගේ යටිබඩ පෙදෙස.
2. පොත්තක යටිපැත්ත.

බඩවැටිය

1. නා. පඳුරුවලින් සැකසුණු ඉඩම් මායිම.
2. වගා කළ ඉඩම්, උයන් ආදිය වටා සිටවන ලද පැළ ඉනිවැට.

බඩවැල

නා. ආමාශයේ දිරවන ආහාර ගුදය දක්වා ගෙන යන දිග නළ මාර්ගය ; අතුණුබහන ; අන්ත්‍රය.

බඩවියත

නා. දිගින් වියතක් පමණ වූ බඩ හෙවත් උදර කොටස අහරින් පුරවාගැන්ම නිසා රැකෙන ජීවිතය ; ජීවත්වීම ; උදර පෝෂණය ; දිවි පැවැත්ම.

බඩසාය

නා. බඩගින්න ; කුසගින්න ; හාමත.

බඩසැල

නා. ධාන්‍ය බඩු ආදිය තැන්පත් කරන ලද ගෙය ; කෝෂ්ඨාගාරය. ; භාණ්ඩාගාරය.

බඩහැල

1. නා. මැටි ලෝහ භාණ්ඩ ආදිය තබන ශාලාව ; වළං සාදන තැන.
2. කුලයක නාමය ; කුඹල් කුලය.