සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1160

බිම් පුලුටු

නා.ප්‍ර. මළසිරුරු ආදාහන කෙරෙන භූමිය වෙනුවෙන් අය කළ බදු විශේෂයක්.

බිම් බලනවා

1. ක්‍රි. වටපිටාව නොබලා තමා ඉදිරියේ පොළොව දෙස බලනවා ; හිස බිම දෙසට හරවා ගෙන සිටිනවා.
2. කිසියම් භූමි භාගයක් ගෙයකට සුදුසුදයි නක්ෂත්‍රානුකූලව පිරික්සා බලනවා.

බිම්බය

1. නා. සූර්යයා චන්ද්‍රයා වැනි ග්‍රහලෝක වටා ඇති ඡායා වළල්ල.
2. කැඩපත් ආදී දිලිසෙන දෙයින් පෙනෙන ඡායාව.

බිම්බර

නා. පොළොව පහත් වන තරම් බර ; පොළොවේ එක් පැත්තකට ගිය විට අනෙක් පැත්ත උඩ යන තරම් බර.

බිම්මල

නා. හත්ත ; විශේෂයෙන් පොළොවෙන් පැන නැගෙන හතු විශේෂය.

බිම්මහල

නා. තට්ටු ගොඩනැගිල්ලක මට්ටමේ පිහිටි තට්ටුව.

බිය

1. නා. මනසෙහි හටගන්නා තැතිගැන්ම ; සන්ත්‍රාසය ; භය ; භීතිය.
2. නව නාට්‍ය රස අතුරින් එකක් වන භයානක රසය.
3. බීම ; පානය කිරීම.

බියකර

වි. තැති ගැන්මට පමුණුවන ; භය උපදවන ; භයංකර.

බියගුලු

වි. යම් අවස්ථාවකට මුහුණදීමට චිත්ත ශක්තියක් නොමැති ; භයින් තැති ගැනෙන සුලු.

බියලි

1. නා.ප්‍ර. පියල්ල ; පළුව ; බෑය.
2. පලු සහිත මුං, තෝර, මෑ ආදි ඇට වර්ග.

බියසුල්ලා

නා. බය ගතිය ඇති තැනැත්තා ; තැති ගන්නා ස්වභාවයෙන් යුතු පුද්ගලයා.

බිරම

නා. වැහිවලාකුළු නිසා ඇති වන අඳුර.

බිරම්

වි. භයානක ; භයංකර බිය උපදවන.

බිරම් තට්ටුවෙනවා

ක්‍රි. බයෙන් ගල් ගැසෙනවා ; භ්‍රාන්ත වෙනවා.

බිරාන්ත

වි. අධික ලෙස බිය පත් ; භ්‍රාන්ත.

බිරි

1. නා.ප්‍ර. භය ; බිය ; භීතිය.
2. ස්ත්‍රිය ; ගැහැණිය ; කාන්තාව.
3. භාර්යාව ; අඹුව ; බිරින්දෑ.

බිරින්ද

නා. විවාහ කරගත් ස්ත්‍රිය ; භාර්යාව ; අඹුව ; බිරිඳ.

බිරු

1. වි. බිය උපදවන ; බියකරු ;භයංකර.
2. බිය ඇති ; බයාදු ; බියගුලු.
1. නා.ප්‍ර. බිය ; භීතිය ; තැති ගැනීම ; කම්පාව ; සබකෝලය.
2. කත් නෑසෙන්නා ; බිහිරා. මුවා ; මෘගයා.

බිරුසන් දෙනවා

ක්‍රි. භයජනක හඬක් නඟනවා ; තැති ගන්වන ලෙස මොරදෙනවා.

බිල

1. නා. සිදුර ; ගුල ; කුහරය ; බෙනය.
2. ඖෂධ වශයෙන් පාවිච්චි කරන ලුණු.
3. (පාරිභා.) සතුන්ගේ හා ශාකවල ශරීර සෑදී ඇති ජීවකෝෂ ඒකකය.
4. කරන ලද සේවයක් සඳහා ගෙවිය යුතු ගාස්තු ඒකකය ; මිල වට්ටෝරුව.

බිල් පත්‍රය

1. නා. භාණ්ඩ හෝ සේවා හෝ ණයක් සඳහා නම් සඳහන් කරන පුද්ගලයාට හෝ ඔහු විසින් නම් කැරුණු තැනැත්තාට නියමිත දිනයක දී මුදල් ලබා ගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමට ලියා දෙනු ලබන ඇණවුම හෝ චෙක්පත.
2. පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ; ව්‍යවස්ථා කෙටුම්පත.

බිල්ල

1. නා. යක්ෂ භූතාදීන්ට කැප කරනු ලබන ප්‍රාණියා.
2. යමකුගේ ආශා තෘප්තිමත් කර ගැනීම සඳහා බලයෙන් ගොදුරු කරගන්නා පුද්ගලයා.
3. බද්ද ; සුංගම ; (කරවුවර).
4. ඝණ්ඨාව ; සීනුව.

බිල්ලා

1. නා. “හිල්ල” නමැති ඉන්දියානු ගෝත්‍රයට අයත් තැනැත්තා.
2. කුඩා ළමයින් අල්ලාගෙන ගොස් බිලි දෙන තැනැත්තා.
3. හඳුනාගැනීමට නොහැකි ලෙස ශරීරය, මුහුණු ආවරණය කරගෙන පැමිණ අපරාධ කරන තැනැත්තා.

බිලි

1. වි. බලවත් ; බලය ඇති ; ශක්තිමත්.
2. වැඩි ; බොහෝ ; අධික.
3. බිල්ලට අයත් ; බිල්ල හා සම්බන්ධ.
1. නා.ප්‍ර. දේව, යක්ෂ පූජා කටයුතුවල දී කැප-පරිත්‍යාග සඳහා ගැනෙන සජීව-අජීව වස්තු.
2. අගය ; වටිනාකම.