සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1184

භූමක

1. වි. මහල් ඇති ; තට්ටු සහිත.
2. මල්වල මෙන් තට්ටු ඇති.
3. පොළොවෙන් යට.

භූමස්කන්‍ධ

නා.ප්‍ර. පොළොව යට වැඩෙන කඳන්.

භූමස්ථ

වි. පොළොවෙහි වසන ; පෘථිවිය ආශ්‍රයෙහි වසන ; භූමාටු.

භූම්‍යන්තරය

1. නා. අන්‍ය ප්‍රදේශය ; වෙනත් භූමිය.
2. බුදුරජාණන් වහන්සේගේ දේශනා ශබ්දය ගොස් මහත් වන ස්ථාන හතරෙන් එකක්.

භූම්‍යන්තරයා

1. නා. පොළොවෙන් ඉහළ වසන්නා වන දෙවියා.
2. උස් තැනක සිට වැඳුම් පිදුම් ලබන්නා.

භූම්‍යස්තරණ

වි. බිම අතුරන.
නා.ප්‍ර. බිම් ඇතිරිල්ල.

භූම්‍යස්ථ

[භූමි + අස්ථ]
1. වි. බිම හෝ බිම ඇසුරෙහි සිටින ; බිම පිහිටි.
නා.ප්‍ර. බිම වසන්නා ; පොළොවේ සිටින්නා.

භූම්‍යස්ථ දෙවියා

නා. භූමිය ඇසුරු කරමින් වෘක්ෂ දේවාල, වනාන්තර ආදියෙහි වෙසෙන දේවතාවා.

භූමාටු

වි. පොළොවේ සිටින ; පෘථිවිය ආශ්‍රයෙහි වසන.

භූමි කම්පාව

1. නා. පෘථිවි පෘෂ්ඨයේ සෙලවීම ; පොළෝ පෘෂ්ඨයට යට ස්වාභාවිකව ආරම්භ වී එහි කබොල්ල තුල සිදුවන චලනය.
2. අංගම් විශේෂයක නාමය.

භූමි චතුෂ්කය

නා. අපාය, කාමසුගති, රූපාවචර, අරූපාවචර යනුවෙන් සත්වයන් උපදනා භූමි හෙවත් ස්ථාන සතර.

භූමි පරිග්‍රහය

නා. බිම නියම කර ගැනීම ; භූමිය ගැනීම ; බිම පිළිගැනීම.

භූමි මාරුව

නා. ගොවිතැන් කිරීමේ දී කලින් කලට වගා කළ ඉඩම හෝ හේන මාරු කිරීම.

භූමි රේඛාව

1. නා. චිත්‍රයක වස්තුවේ පසුබිමත් පෙරබිමත් දැක්වීමට තිරස් ව අඳින ඉර.
2. අහසත්, පොළොවත් වෙන් කොට දක්වන ඉර.

භූමි ලක්ෂණ

1. නා.ප්‍ර. භූමි ප්‍රදේශයක් තුළ පවතින කඳු, සානු, තැනිතලා, ගංගා, විල් ආදි ලක්ෂණ.
2. ගෙයක් සාදන ඉඩමේ ආකාරය.

භූමිකාව

1. නා. නාට්‍යයක චරිත විලාසය.
2. උස් නැති පර්වතය ; උස් බිම.
3. ග්‍රන්ථයක හෝ ලේඛනයක හෝ ප්‍රාරම්භය හෙවත් ප්‍රස්තාවනාව.

භූමිජ

වි. පොළොවෙහි උපන් ; පෘථිවියෙහි හටගත්.

භූමිජයා

නා. පොළොවෙන් උපන්නා ; අඟහරු ග්‍රහයා.

භූමිති විද්‍යාව

(පාරිභා.) නා. පෘථිවියේ වක්‍ර භාවය ගණනට ගෙන පොළොව මැනීමේ විද්‍යාව ; මහා පරිමාණ වසයෙන් පොළොව මැනීම.

භූමිතෙල්

නා.ප්‍ර. පැට්‍රෝලියම් ආසවනයෙන් ලබා ගන්නා හයිඩ්‍රෝකාබන් ද්‍රවයේ මිශ්‍රණයක් ; දැවෙන සුළු තෙල් විශේෂයකි.

භූමිය

1. නා. බිම ; පොළොව ; පෘථිවිය.
2. ඉඩම ; ස්ථානය ; ප්‍රදේශය.
3. සත්වයන් උපදින වාසය කරන ස්ථානය ලෝකය.
4. තට්ටුව ; මහල.
5. ආධාරය ; පදනම.

භූමිරුහ

(පාරිභා.) වි. පසෙහි ජීවත්වන ; පොළොවෙහි වසන.

භූයිෂ්ඨ

වි. වැඩි ; අධික ; බහුල.

භූයිෂ්ඨය

නා. වැඩි ම ගණන හෝ ප්‍රමාණය.