සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1562

විසන්ධාන

වි. සන්ධි නොවූ ; සන්ධානය කැඩුණු.

විසන්ධි

වි. සන්ධි නොවූ ; වෙන් කළ ; බෙදුණු.
නා.ප්‍ර. වෙන් කොට දැක්වීම ; සන්ධි නොකිරීම.

විසඳනවා

1. ක්‍රි. ගැටලු, ප්‍රශ්න ආදිය නිරවුල් කරනවා ; විසඳුම් ලබාගන්නවා.
2. වියදම් කරනවා ; වැය කරනවා.

විසඳුම

නා. ප්‍රශ්නයකට පිළිතුර ; ගැටලුවක් නිරාකරණය කිරීමට ගන්නා ක්‍රියා මාර්ගය.

විසප්ප

නා.ප්‍ර. ශරීරයෙහි සෑදෙන විෂ සහිත ගෙඩි ; ලේ ගෙඩි.

විසභාග

වි. වෙන් වෙන් ස්වභාව ඇති ; අසමාන ; සභාග නොවන ; වෙනස්.

විසභාග අරමුණු

නා.ප්‍ර. රාගාදි ක්ලේශයන් වැඩිවීමට හේතුවන අරමුණු.

විසම

වි. අසමාන ; වෙනස් ; විසදෘශ.

විසම රාශිය

නා. සම නොවූ රාශිය ; පුරුෂ උත්පත්තියකට හිමි රාශිය.

විසඹ

1. නා.ප්‍ර. විශ්වාසය ; විශ්‍රම්භය.
2. ප්‍රේමය ; ආදරය.
3. මෙවුන්දම ; රති ක්‍රීඩාව.
4. වාග් දේවිය ; සරසවිය.

විසර

1. නා.ප්‍ර. විචාරය ; විමසා බැලීම.
2. රාශිය ; සමූහය.

විසරණ

1. වි. දුරු කරන ; විනාශ කරන.
2. ව්‍යාප්ත වන ; පැතිරෙන.
නා.ප්‍ර. ඒකාකාර සංයුතියක් ඇති වන පරිදි, වායුවල හෝ ද්‍රවවල අණු, අන්‍යෝන්‍ය ලෙස මිශ්‍ර වීම.

විසර්ගය

1. නා. පිට වීම ; බැහැර වීම ; නික්මීම ; ඉවත්වීම.
2. (ශරීරයෙන්) පිටවන අපද්‍රව්‍ය ; බැහැර වන දෙය.
3. සිංහල හෝඩියේ ඇති ‘ඃ’ යන වර්ණය.
4. දැමීම.

විසර්ජක

වි. පිට කරන ; ගෙන යන ; බෙදා හරින ; (අංශවලට මුදල්) බෙදා වෙන්කරන.

විසර්ජක නළය

(පාරිභා.) නා. යම් ද්‍රවයක් හෝ වායුවක් ගෙන යන නළය ; විසර්ජක ප්‍රණාලය.

විසර්ජන ගිණුම

(පාරිභා.) නා. මුදල් විවිධ අංශවලට බෙදා වෙන් කරන ආකාරය පෙන්වන ගිණුම.

විසර්ජන පහන

(පාරිභා.) නා. වායුව විරලනය කොට, උච්ච විභව අන්තරයකට භාජන කළ විට ඒවා තුළින් ඇති වන දිලිසෙන ස්වභාවය නිසා ලැබෙන ආලෝකය.

විසර්ජනය

1. නා. ප්‍රශ්නයක් විසඳීම ; ගැටලුවක් නිරාකරණය කිරීම.
2. නිකුත් කිරීම ; විහිදුවීම ; බෙදාහැරිම.
3. (පාරිභා.) ආරෝපණයෙන් නිදහස්වීම ; ඉවත් කිරීම ; මෝචනය.
4. ඇම්පියර මගින් ප්‍රකාශ කළ විට දී විදුලිධාරාවක් ගලා යන ශීඝ්‍රතාව.

විසර්ජනී

1. නා.ප්‍ර. ගුදයෙහි පිහිටි වලි තුනෙන් එකක්.
2. වර්ණමාලාවේ දැක්වෙන අකුරක් ; විසර්ගය.

විසර්ජිතය

නා. නිපදවනු ලබන ප්‍රමාණය.

විසරු

වි. දක්ෂ ; බුහුටි ; විශාරද.
1. නා.ප්‍ර. දක්ෂ පුද්ගලයා ; විශාරදයා.
2. විශාල දෙය ; මහත දෙය.

විසලම

(කථා.) නා.ප්‍ර. පණිවුඩය.

විසලලු

නා.ප්‍ර. නයා.

විසල්

1. වි. විශාල ; මහත් ; පෘථුල.
2. උතුම් ; ශ්‍රේෂ්ඨ.- නා.ප්‍ර. 1. විශාල දෙය ; පතළ දෙය.
2. පැරණි ඉන්දීය අග නගරයක් ; විශාලා මහනුවර.