සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1917

හෝපලු

නා.ප්‍ර. ශාක විශේෂයක් ; අශෝක.

හෝමෝනය

(පාරිභා.) නා. ශාක හෝ සත්ව හෝ දේහවල නිපදවෙන විවිධ අවයව උත්තේජන කරන ශ්‍රාවයක්.

හෝමෝසැපියන්

(පාරිභා.) නා.ප්‍ර. මානවයා අයත් යැයි සැලකෙන සත්ව ගණය.

හෝරා ශාස්ත්‍රය

නා. ග්‍රහ ගණිත ශාස්ත්‍රය ; ජ්‍යෝතිෂය.

හෝරායතුර

නා. වේලාව දක්වන උපකරණය ; ඔර්ලෝසුව.

හෝරාව

නා. විනාඩි හැටක කාලය ; සිංහල පැය දෙකහමාරක කාලය ; පැය.

හෝවග

නා. දූෂිත සිතකින් ඊර්ෂ්‍යා සහගතව සුසුම්ලෑම නිසා යම් තැනැත්තකුට නොහොත් වස්තුවකට සිදු වෙතැයි සැලකෙන විපත ; හානිය.

හෝවැළ

නා. ගංගා ඉවුර ; නදී තටය.

හෝවිල්ල

නා. උන්චිල්ලාව ; ඕවිල්ල.

හෝස්ට් කුට්ටිය

(පාරිභා.) නා. අවට ඇති බිම් කොටස් ගිලා බසිද්දීත් එසේ නැතිනම් කඳු බවට හැරෙද්දීත් වෙනසක් නොවී එසේම පවතින පොළොවේ පංශු කදම්බය.

ළ

1.සිංහල හෝඩියේ අවසාන අක්ෂරය ; මුර්ධජ ; ඝෝෂාක්ෂරය ; අල්ප ප්‍රාණාක්ෂරය ; අන්තඃස්ථාක්ෂරය.
2. නා.ප්‍ර. හදවත ; ළය.
වි. ළපටි ; ළා; තරුණ ; ළාමක

ළං

වි. දුර නොවූ ; ආසන්න ; සමීප.

ළගන්නා

වි. සිත් අදින ; සිත් ඇදගන්නා ; මනහර ; ආකර්ෂණීය.

ළතැවිල්ල

නා. හදවත තැවීම ; සිත දුකින් තැවීම ; චිත්ත සංතාපය.

ළතෙත්

වි. හද කරුණාවෙන් තෙත් වූ ; මොළොක් හදවතක් ඇති ; කාරුණික.

ළතෝනිය

නා. ශෝක විලාපය ; දුක් අඳෝනාව ; දුක ප්‍රකාශ කරමින් හැඬීම.

ළද

වි. තරුණ ; බාල ; නොමේරූ ; ළපටි.

ළදරු

වි. ළාබාල ; ළපටි ; බිලිඳු.

ළදරු පාසල

නා. ළදරු අධ්‍යාපනයටම සීමා වූ පාසල.- දරුවකු සාමාන්‍ය (ප්‍රාථමික) පාසලකට යැවීමට පෙර යවන පාසල ; පෙර පාසල.

ළදරුවා

නා. ළාබාල දරුවා ; බිලිඳා ; දාරකයා.

ළදැරිය

නා. කුඩා දැරිය ; කන්‍යාව ; බාලිකාව.

ළඳ

නා.ප්‍ර. කාන්තාව ; ස්ත්‍රිය ; ලිය.

ළඳ බොළඳ

වි. වයසින් අඩු ; ළාබාල ; සියුමැලි ; ළපටි ; මුහුකුරා නොගිය.

ළපැත්ත

නා. පපුව ; ළය ; හෘදය ප්‍රදේශය.