සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 314

උද්ධර්ෂණය

නා. මයිල් කෙළින් සිටීම.

උද්ධානය

නා. ඉහළ යෑම; ඉගිළී යෑම.

උද්ධාරක

1. වි. උඩට නඟන; ඔසවන.
2. වි. තෝරාගත් උසස් දෙයින් පමණක් සමන්විත වූ; සාරයෙන් ම පමණක් නිපැයුණු.

උද්ධාරණය

නා. නඟා ගැනීම; මතු කර ගැනීම.

උද්ධාරය

1. නා. ඉදිරීම; උපුටා ගැනීම.
2. නා. යුද්ධයේදී පැහැර ගත් දෙය.
3. නා. ණය.

උද්ධුමාතක

වි. උඩට මස් නෙරා ගිය;.ඉදිමුණු.

උද්ධුමාතකය

නා. ඉදිමී ගිය මළ සිරුර.

උද්ධූත

වි. කලඹන ලද; සෙලවූ; ඔසවන ලද.

උද්ධෘත

වි. උඩට නැගූ; උපුටාගත්; උද්ධරණය කළ.

උද්ධෘත පාඨය

නා. කථාවකින් හෝ පොතකින් උපුටා ගත් වාක්‍යය හෝ වාක්‍යාංශය; උද්ධෘතය.

උද්ධෘත භාගය

නා. අඩු කළ කොටස; වට්ටම.

උද්බන්ධනය

නා. ගෙල වැල දා එල්ලීම; එල්ලී මැරීම.

උද්බෝධය

නා. පිබිදීම; අවදි වීම; ප්‍රබෝධය.

උද්භවය

නා. ඉපදීම; හටගැනීම; පහළවීම; ප්‍රභවය.

උද්භාරය

නා. බර ඉසිලීම; බර.

උද්භාවනා

නා.ප්‍ර. උසස් කොට සැලකීම හෝ ප්‍රකාශ කිරීම; හුවා දැක්වීම.

උද්භාවය

නා. හැඟීම; චිත්තාවේගය.

උද්භාසනය

නා. බැබළීම; දිලිසීම.

උද්භිජ්ජ

1. වි. පොළොව පළා ගෙන පැන නඟින (රතිඳුගොව් ආදි සතුන් පිළිබඳ කියනු ලැබේ).
2. වි. රිකිල්ලකින් හටගන්නා වූ; අංකුරයකින් වැඩෙන.

උද්භිද

නා.ප්‍ර. වෘක්ෂලතාදි ගණයට අයත් ජීව වස්තුව; ශාකය; පැළෑටිය.

උද්භිද ආහාර

1. නා.ප්‍ර. උද්භිද වැඩීමට උවමනා කරන පෝෂණ හෙවත් ආහාර; වෘක්ෂාහාර.
2. නා.ප්‍ර. එළවලු ආහාර; උද්භිදවලින් පමණක් සමන්විත ආහාර.

උද්භිද උද්‍යානය

නා. නානා වෘක්ෂලතාදිය වවා ඇති උයන; උද්භිද විද්‍යාත්මක වර්ගීකරණයට අනු ව සකස් කරන ලද උද්‍යානය.

උද්භිද ඌතිය

නා. ගසක හෝ ගෙඩියක ඇති ඉතා සියුම් සිවිය.

උද්භිද කෝෂය

නා. කෝෂ එකිනෙකට සම්බන්ධ වීමෙන් පැළැටියක සෑදෙන සිවිය (ඌතිය) සෑදී තිබෙන ඉතා කුඩා අංගය.