සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 43

අඩු කුලය

නා. හීන යැයි සම්මතකුලය.

අඩුක්කරනවා

(කථා.) ක්‍රි. එකපිට එක තබනවා; පිළිවෙළකට තබනවා; සකස් කොට අඩංගු කරනවා; අහුරනවා.

අඩුක්කු සප්පායම

1. (කථා.) නා. (පැරණි ප්‍රභූවරුන්) ආහාර අනුභවය; බොජුන් වැළඳීම.
2. නා. කමතේ දී ආහාර ගැනීම; (විශේෂයෙන්) දිවා ආහාරය ගැනීම.

අඩුක්කුව

1. නා. උයා පිළියෙල කළ කෑම; පිසින ලද ආහාරය.
2. නා. යම් ගෙදරකින් තව ගෙදරකට තෑගි වශයෙන් ගෙන යන කෑම.
3. නා. උසස් රදළවරුන් සඳහා පිළියෙල කළ භෝජනය.
4. නා. දෙවියන්ට පුද පිණිස ද යකුන්ට දොළ පිණිස ද සකස් කළ භෝජනය.
5. නා. කෑම භාජන එක එක තබා සෑදූ ඒකකය; කෑම වළන් අසුරා බැඳගත් කද; දන්කද.
6. නා. ඇතැම් භාණ්ඩ පිළිවෙළට එක මත එක තබා සකස් කර ගැනෙන ඒකකය.

අඩුත්තු

වි. ඇතුළත්; අඩංගු; අයිති; අන්තර්ගත.
2. (කථා.) ක්‍රි. එකඟ වෙනවා; සම්බන්ධ වෙනවා.
3. (කථා.) ක්‍රි. යටත් වෙනවා; අවනත වෙනවා.

අඩුදඹු

(කථා.) වි. මඳක් පිලිස්සුණු; භාගයට තැම්බුණු.

අඩුපාඩුව

නා. අගහිඟය; අඩුව; ඌනතාව; අසම්පූර්ණ බව.

අඩුම-කුඩුම

1. නා. බඩු මුට්ටු; උපකරණ.
2. නා. කෑම පිසීම ගන්නා අඩු වැඩිය.

අඩුරු-පඬුරු

(කථා.) නා.බහු. පුද පඬුරු; පාක්කුඩම්.

අඩුලුහුඬුව

නා. අඩුපාඩුව; අඟහිඟය.

අඩුව

1. නා.ප්‍ර. අඩුබව.
2. (ව්‍යාක.) නා.ප්‍ර. විසි වැදෑරුම් වියරණ විධිවලින් එකක්; මාත්‍රා හානිය; ස්වරයක උච්චාරණ කාලය කොට කිරීම.

අඩුවැඩි

වි. එකිනෙකට සම නොවූ වෙනස්කම් ඇති නොයෙක් දේ ඇති විවිධ අඩුවැඩිය.
1. නා. අඩු හෝ වැඩි බව; ඌනාධිකභාවය.
2. නා. අඩුපාඩු; දොස්; ඇද පලුදු.
3. නා. අවශ්‍ය දෑ; බඩුමුට්ටු; උපකරණ.

අණ

1. නා. නියෝගය; විධානය; ආඥාව.
2. නා. මුහුද; සයුර; සාගරය; අර්ණවය.
3. නා. ජීවය; ප්‍රාණය.

අණ කරනවා

1. ක්‍රි. නියෝග කරනවා; නියම කරනවා; විධාන කරනවා; ආඥා කරනවා.
2. ක්‍රි. අණ පිළිපදිනවා; ආඥාවට කීකරු වෙනවා.

අණ තහනම

1. නා. තහනමක් වශයෙන් කරන නියෝගය; තහනම් කිරීමේ බලපත්‍රය.
2. නා. සම්මුතියෙන් කරන වර්ජනය.

අණ දෙනවා

ක්‍රි. නියෝග කරනවා; විධාන කරනවා.

අණ පණිවුඩ

නා.ප්‍ර. පණිවුඩ පනත්; නියෝග සහ විධාන; රාජ නියෝග.

අණ පාමොක්

(විනය.) නා. (බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනවූ අවස්ථාවෙහි පටන්) සංඝයා විසින් පිළිපදිනු ලබන ශික්ෂාපද සමූහය; ආඥා ප්‍රාතිමෝක්ෂය.

අණ පොල්ල

1. නා. කිසියම් ස්ථානයකට ඇතුළුවීම තහනම් බව හැඟවීමට සිටුවා ඇති හෝ හරස් කර ඇති දඬුකඩ.
2. නා. රාජාඥාව පිළිබඳ දක්වනු ලබන යෂ්ටිය; සෙංකෝලය.

අණ බෙරය

නා. ආඥා නියෝග ප්‍රවෘත්ති දැන්වීම සඳහා ශබ්ද කරවන බෙරය; ආඥා භේරිය.

අණ බෝලය

(කථා.) නා. වැව් කුඹුරු ආදියට ඇතුළුවීම තහනම් කොට ලීයක් සිටුවා එහි බඳින කොළ අත්ත.

අණකරය

(පාරිභා.) නා. ගනුදෙනු කරුවකුගේ මුදල් පිළිබඳ එක් බැංකුවකින් තවත් බැංකුවකට දෙන නිල සහතිකය (=draft).

අණගුණ

නා. අනුහස්; හාස්කම්; තෙදබල.

අණඟිල්ල

(කථා.) නා. ආඥාවක් හෝ නියෝගයක් කිරීමේ දී ඔසොවන ඇඟිල්ල; අතෙහි මහපටැඟිල්ල ළඟ පිහිටි ඇඟිල්ල; දබරැඟිල්ල; තර්ජනාඞ්ගුලිය.