සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 460

කාර්ය සාධක

(පාරිභා.) වි. කාර්ය කිරීමේ ශක්තිය ඇති; කටයුතු සම්පාදනයෙහි ශක්තිමත් (=effectual).

කාර්ය සිද්ධිය

නා. කාර්යය සඵල වීම; අදහස් මුදුන් පත්වීම.

කාර්යක්ෂම

වි. වැඩට යෝග්‍ය; වැඩෙහි දක්ෂ; කටයුතුවල නිපුණ.

කාර්යය

1. නා. කළ යුතු දෙය; වැඩය; කටයුත්ත.
2. නා. ක්‍රියාවෙන්, කාරණයෙන් හටගන්නා ඵලය.

කාර්යශීලී

වි. වැඩ කිරීමේ හුරු පුරුදු; කටයුත්තෙහි යෙදෙන; කඩිසර.

කාර්යශූර

වි. වැඩෙහි දක්ෂ; කටයුත්තෙහි නිපුණ.

කාර්යාංශය

නා. රජයේ හෝ ආයතනයක පාලන කටයුතු වැඩ ආදිය පිළිබඳ යම්කිසි කොටසක් භාර ව ඇති අංශය; දෙපාර්තමේන්තුව.

කාර්යාලය

නා.ප්‍ර. කන්තෝරුව.

කාර්යාලසහකාර

(පාරිභා.) නා.ප්‍ර. කාර්යාලයක ප්‍රධාන නිලධාරියාට සහාය වන නිලධාරියා (=office assistant).

කාර්යාවලිය

[කාර්ය + ආවලිය]
නා. එකිනෙකට බැඳී සිදුවන ක්‍රියා සමූහය; ක්‍රියා පද්ධතිය.

කාර්ශ්‍ය

නා.ප්‍ර. කෙට්ටුබව; කෘශභාවය.

කාර්ෂාපණය

නා. මදටිය විස්සක් බර පැරණි කාසියක්; කහවණුව.

කාරාගාරය

නා. සිරගෙය; බන්ධනාගාරය.

කාරාපනය

නා. කරවීම; සෑදවීම.

කාරිකා

1. නා.ප්‍ර. සිංහල ගී විරිතක නාමය
2. නා.ප්‍ර. අක්ෂර කිහිපයකින් බොහෝ අර්ථ නැංවෙන පද්‍යය හෝ පද්‍යමය සූත්‍ර ක්‍රමය.

කාරිත

වි. කරවන ලද.
නා.ප්‍ර. මෙහෙයවීමෙන් කරන ලද්ද.

කාරිය

1. නා. කටයුත්ත; කළ යුතු දේ; වැඩය; කාර්යය; ක්‍රියාව.
2. නා. ප්‍රයෝජනය; අර්ථය; යහපත.
3. නා. යක්නැටුම.

කාරිය කරන රාල

1. නා. නින්දගමක කටයුතු මෙහෙයවන්නා
2. නා. දළදා මාළිගාවේ නිලධාරියෙක්.

කාරිය කෝරාල

නා. දළදා මාළිගාවේ අභ්‍යන්තර නිලධාරියෙක්.

කාරිය හුවන්දිරම

නා. කුඹුරු හිමියන් වෙල් විදානේට හා කාරිය කරවන්නන්ට අස්වැන්නෙන් ගෙවන බද්ද; රජයට ගෙවන අස්වැන්නෙන් දහයෙන් පංගුව හැර ඉතිරියෙන් හතළිස් අටෙන් පංගුවක් වන බද්ද.

කාරු

1. නා.ප්‍ර. කර්මාන්තකාරයා; කාර්මිකයා; ශිල්පියා.
2. නා.ප්‍ර. විශ්ව කර්මයා.

කාරුගානවා

(කථා.) ක්‍රි. කලඹනවා; හැඳි ගානවා; කූරු ගානවා.

කාරුණික

වි. කරුණාව ඇති.

කාරුපු

නා.ප්‍ර. (කපුටාගේ සතුරා යනු වාච්‍යාර්ථයි) බකමූණා.