සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 471

කැල්සයිට්

(පාරිභා.) නා.ප්‍ර. අවර්ණ හෝ සුදු පැහැයෙන් හෝ දුඹුරු පැහැයෙන් හෝ යුත් කැල්සියම් කාබනේටයේ ස්ඵටික රූපී ආකාරයක් (=calcite).

කැල්සියම්

(පාරිභා.) නා.ප්‍ර. රිදී වන් සුදු තරමක් මෘදු ලෝහමය මූල ද්‍රව්‍යයක්.

කැල්සියම් අයඩයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. හයිඩ්‍රොඅයිඩික් අම්ලයෙන් ව්‍යුත්පන්න කැල්සියම් ලවණය.

කැල්සියම් ආසනේට්

(පාරිභා.) නා.ප්‍ර. කැල්සියම්වල ඇති සාමාන්‍ය ආසනේට් ලවණය, නැතහොත් භාස්මික ලවණය.

කැල්සියම් ඔක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. පිළිස්සූ හුනු.

කැල්සියම් කාබනේට්

(පාරිභා.) නා.ප්‍ර. හුනුගල් කිරිගරුඬ ආදියෙහි කැල්සයිට් වශයෙන් ද ඇරගනයිට් ඛනිජය වශයෙන් ද ශාක අළුවල, සත්ව ඇටවල හා බෙල්ලන්ගේ කටුවල ද දක්නට ලැබෙන ඝන ද්‍රව්‍යයක් (=calcium carbonate).

කැල්සියම්ක්ලෝරයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. යම් යම් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ දී ලැබෙන අතුරුපලයක් වන අවද්‍රාවක ලවණයක්.

කැල්සියම්කාබයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. ජලය හා ප්‍රතික්‍රියා කොට ඇසිටිලින් වායුව ලබාදෙන කාබයිඩ් නමින් සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතින දුඹුරු පාට ද්‍රව්‍යය (=calcium carbide).

කැල්සියම්ඩයොක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. හුනු දියරට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කිරීමෙන් හෝ දිය ගැසූ හුනු සහ සෝඩියම් පෙරොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් හෝ ලැබෙන සංයෝගය.

කැල්සියම්නයිට්රයිට්

(පාරිභා.) නා.ප්‍ර. කැල්සියම් ලෝහය නයිට්‍රජන් වායුව තුළ රත් කළ විට ලැබෙන දුඹුරු පැහැයට හුරු කහපාට සංයෝගය.

කැල්සියම්නයිට්රේට්

(පාරිභා.) නා.ප්‍ර. තෙතමනය උරා ගන්නා අවද්‍රාවක අවර්ණ ස්ඵටිකමය ලවණයක්.

කැල්සියම්බයිකාබනේට්

(පාරිභා.) නා.ප්‍ර. කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සන්තෘප්ත ජලයෙහි කැල්සියම් කාබනේට් දිය වෙමින් සෑදෙන ලවණය.

කැල්සියම්ලැක්ටේට්

(පාරිභා.) නා.ප්‍ර. ලැක්ටික් අම්ලය සහ කැල්සියම් කාබනේට් අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන නීරස යැයි කිව හැකි සුදු ස්ඵටිකමය ලවණයක්.

කැල්සියම්සල්ෆයිට්

(පාරිභා.) නා.ප්‍ර. කැල්සියම් වල ඇති ලවණ වර්ග දෙකින් එකක්.

කැල්සිෆෙරොල්

(පාරිභා.) නා.ප්‍ර. බොහෝ මසුන්ගේ අක්මා තෙල්වලත් බිත්තර කහමදයේ හා කිරිවල අඩංගු ඩී2 (D2) විටමිනය හෙවත් පදාර්ථය (=calciferol).

කැලැන්ඩරය

නා. අවුරුද්ද තුළ මාස, සති, දින දක්වන සටහන; දින දර්ශනය.

කැලෑ උණ

නා. ඇනෝපීලිස් මදුරුවා නිසා බෝවෙන උණ රෝගය; මැලේරියාව; විෂමජ්වරය.

කැලෑ නිලධාරියා

(පාරිභා.) නා. කැලෑ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කැලෑ පිළිබඳ රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්නා.

කැලෑ පත්තරය

නා. අන්‍යයන්ට අපහාසාත්මක කරුණු ඇතුළත් කොට රහසේ ලියා ප්‍රකාශ කරන ලියවිල්ල.

කැලෑ බාසාව

1. නා. කැලෑවල දඩයම් ආදිය පිණිස හැසිරෙන මිනිසුන් කතා කිරීමට උපයෝගී කරගන්නා භාෂාව.
2. නා. කෙනකුට අපහාස කිරීමට යොදන අසභ්‍ය වචන ඇතුළත් භාෂාව.

කැලෑ වදිනවා

1. ක්‍රි. කැලෑවේ සැඟවෙනවා; වරදක් කොට අසු නො වී සිටිනවා.
2. (නව.) ක්‍රි. යහපත් හැසිරීමෙන් තොර වෙනවා; ඉරියව් නරක් වෙනවා.

කැලෑයනය

(පාරිභා.) නා. කැලෑවක් නො පැවතුණු පළාතක ගස් සිටුවා කැලෑ වැවීම (=afforestation).

කැලි

1. වි. යහපත්; සුරූපි; කාන්ත.
2. වි. කාලයට අයිති; කාලීන.
1. නා.ප්‍ර. ඉලක්කය; ලක්ෂ්‍යය.
2. නා.ප්‍ර. පොහොට්ටුව; මල් කැකුල; කලිකාව.
3. නා.ප්‍ර. සලකුණ; ලකුණ; සංඥාව.
4. නා.ප්‍ර. කාලයට අයිති වූව; කාලිකය.

කැලිඩස්කෝපය

(පාරිභා.) නා. සිලින්ඩරාකාර බටයක එක් කොනක සවි කොට ඇති වර්ණවත් වීදුරු කැබැලිවල ප්‍රතිබිම්බ මාර්ගයෙන් සමමිතික රූප පෙනෙන උපකරණයක්.