සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 486

කුඩුම්බය

නා. මිනුම් විශේෂයක්; පලම් හතරක ප්‍රමාණය.

කුඩුම්බිපිහාටු

නා.ප්‍ර. බීජ ලන අවධියේ දී නොහොත් බෝවෙන කාලයේ දී කන කොකුන්ගේ හිස මුදුනෙහි වැඩෙන පිහාටු රොද.

කුඩෙනි

නා. (ආමන්ත්‍රණයෙහි යෙදේ) දරුවෙනි; කුඩාවරුනි; කුඩා ළමයිනි.

කුණ

1. නා. මළ සිරුර; කුණපය.
2. නා. සැරව ආදි අපවිත්‍ර දෙය; රොඩ්ඩ.
3. නා. ගසක කඳෙහි (විශේෂයෙන් මැදින් පටන්ගෙන) දිරන කොටස; දිරකඩය.

කුණකටුවා

නා. විෂ සර්පයෙක්.

කුණප

1. නා.ප්‍ර. මළ සිරුර; කුණු වූ මළකඳ
2. නා.ප්‍ර. පිළිකුල් කටයුතු වස්තුව; අපවිත්‍ර දෙය.

කුණම

නා. පොලු ආධාරයෙන්, මිනිසුන් විසින් ඔසවා ගෙන යනු ලබන යහනක හැඩය ගත් පැද්දෙන යානය; දෝලාව.

කුණවාරය

(කථා.) නා. බඩු සුලභ වීම නිසා ඒවායේ මිල ඉතා පහතට වැටීම.

කුණ්ඨ

1. වි. කෙටි; මිටි.
2. වි. වක්; ඇද.
3. වි. ක්‍රියාවෙහි අදක්ෂ.

කුණ්ඨිත

වි. ක්‍රියාවට යෝග්‍ය නොවූ; අකර්මණ්‍ය වූ.

කුණ්ඩය

1. නා. භාජනය; බඳුන; කෙණ්ඩිය.
2. නා. ගිනි දල්වන කබල හෝ භාජනය; ගිනි පූජාව සඳහා ගිනි මොළවන වළ.
3. නා. (පාරිභා.) ඇස පිහිටා ඇති වළ; අක්ෂිකූපය (=orbit of eye).

කුණ්ඩල

1. නා.ප්‍ර. ගඩු රෝග විශේෂයක්.
2. නා.ප්‍ර. කනෙහි පලඳින ආභරණයක්; තෝඩුව; කොඬොල; කුණ්ඩලාභරණය.

කුණ්ඩලාකාර

වි. දඟර ගැසුණු; කැරලි ගැසුණු.

කුණ්ඩලි

1. නා. කුණ්ඩලාකාර ලකුණ; පුස්කොළ ලිවීමේ දී භාවිත වන වාක්‍යාවසාන සංකේතය.
2. නා. (කථා.) පස් කැටය; පස් පිඬ.

කුණ්ඩිකාව

නා. කෙණ්ඩිය; කොතලය.

කුණ්ඩුව

(කථා.) නා. සුර ආදියේ නූල් වැනි දෙයක් ඇමිණීම සඳහා ඇති සිදුරක් සහිත කුඩා කවාකාර කොටස.

කුණා

1. නා. දැඩි ලෝහියා; මසුරා.
2. නා. (කථා.) ශරීරයේ කුණු වූ තුවාල ඇති තැනැත්තා.

කුණාටු

වි. තද සුළඟ සහිත; දැඩි සුළඟ ඇති; අධික සුළඟින් යුක්ත.
නා. සැඩ සුළඟ; වේගයෙන් හමා යන සුළඟ; චණ්ඩ මාරුතය.

කුණි

වි. අත්පා නැති හෝ විකෘත වූ අත්පා ඇති; කොර වූ අත්පා සහ ඇඟිලි ඇති.

කුණිකාව

(පාරිභා.) නා. අඟ; ශෘඞ්ගය.

කුණු

1. වි. කිලිටි; අපවිත්‍ර.
2. වි. ගඳ ගසන; දුගඳ හමන
3. වි. මසුරු; ලෝභ.

කුණු කොල්ලෙ

(කථා.) ක්‍රි.වි. වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලට.

කුණු-කුණු ගානවා

ක්‍රි. යමක් කෙරේ අකමැත්ත පළකිරීම් ආදිය සඳහා තොල් මතුරනවා.

කුණුකුල්ල

නා.ප්‍ර. (කථා.) නුවුවමනා බර; තමා කෙරෙහි පැවරුණු අනවශ්‍ය වගකීම.