සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 533

කෝරමය

නා. සභා රැස්වීමක් පැවැත්වීම සඳහා අවම වශයෙන් සහභාගි විය යුතු සභා සම්මත වූ සාමාජික සංඛ්‍යාව; ගණපූරණය.

කෝරලය

1. නා. මෑත දේශීය ඉතිහාසය තුළ දිසාවනියක් බෙදා තිබුණු ප්‍රධාන කොට්ඨාසවලින් එකක්; කෝරාළ කෙනකු ගේ බලසීමාව පැවති ප්‍රදේශය.
2. නා. මුදලි කෙනකු ගේ පාලන ප්‍රදේශය.
3. නා. සමහර දිස්ත්‍රික්ක වල ප්‍රධාන බෙදීම්වලින් එකක්.

කෝර්නියාව

නා. අක්ෂි ගෝලයේ ඉදිරි පෙදෙස් හයෙන් එකක ප්‍රමාණය වසා සිටිමින් ඇසේ වර්ණවත් කොටස ආවරණය කරන විනිවිද පෙනෙන බාහිර සිවිය; ස්වච්ඡය; ස්වච්ඡ මණ්ඩලය.

කෝර්සට්

නා.ප්‍ර. ස්ත්‍රීන් විසින් ඇඟට හිරවන සේ අඳිනු ලබන යට ඇඳුම් විශේෂයක්; බොස්තරැක්කය.

කෝරාල

නා. දිසාව හෝ රටේ මහතා යටතේ සිටි ප්‍රධාන මුලාදෑනියා; කෝරලයක පාලකයා; කෝරලේ මහත්මයා.

කෝරියම

(පාරිභා.) නා.ප්‍ර. පෘෂ්ඨවංශික සත්ත්වයන්ගේ කලලරූපය හාත්පසින් වසා සිටින්නාවූ ද, උත්පත්තියේ දී පැළී ඉවත්වන බාහිරතම සිවිය; මස්තු පටලය.

කෝලක

නා.ප්‍ර. විශේෂයෙන් මූර්ති ශිල්පීන් විසින් පාවිච්චි කරන ලද අඟල් දෙකක දිග ප්‍රමාණය ඇති මිම්මක්.

කෝලක්කාරයා

නා. නාට්‍යයක හෝ නාඩගමක විහිළුකාරයා; බහුබූතයා; කෝණාංගියා; හාස්‍යජනක ක්‍රියා කරන්නා.

කෝලණුව

(කථා.) නා. ගොයම් මිටිබැඳීම සඳහා ගනු ලබන ලණුව.

කෝලදල

නා.ප්‍ර. සන්බෙලි කටුවේ මැද පුරුක පෙදෙස ගෙන සාදා ගනු ලබන සුවඳ ද්‍රව්‍යයක නාමය; සක්ඇබ; ශඞ්ඛනාභි.

කෝලඵල න්‍යාය

නා. අත්ලෙහි තුබූ ඩෙබර ගෙඩියක් මෙන් යම්කිසි කරුණක් හෝ දෙයක් ඉතා පැහැදිලි ලෙස දැකීම සහ අවබෝධ කරගැනීම හා සම්බන්ධ දක්වන න්‍යායය.

කෝලම

1. (කථා.) නා.ප්‍ර. වෙස්මුහුණ; කෝලම් මුහුණ.
2. නා.ප්‍ර. වෙස්මුහුණු බැඳ රඟ දක්වන නාටක විශේෂයක්.
3. නා.ප්‍ර. හාස්‍යජනක ක්‍රියා විලාසය; විහිළුව.
4. නා.ප්‍ර. කවටකම; කොලොප්පම.

කෝලය

1. නා. දැව දඬු උණගස් ආදිය එකට බැද තැනූ යාත්‍රාව; පහුර; උඩුපය.
2. නා. උකුළ; ඇකය.
3. නා. ඖෂධ ආදියෙහි බර කිරීම සදහා භාවිත වූ පැරණි මිම්මක්.
4. නා. ඛණිජ ද්‍රව්‍යයක්; මිනිරන්.
5. නා. උණ, විකාර, දෙඩවිලි ආදිය ලක්ෂණ කොට ඇති සන්නිපාත රෝග විශේෂයක්.
6. නා. ලජ්ජාශීලිභාවය; චකිතය; කුලෑටිකම; බයාදුකම.
7. නා. නිකරුණේ සිනාසීම හෝ ඇඬීම ලක්ෂණ කොට ඇති මානසික රෝගයක්; හර්ෂෝන්මාදය (=hysteria).
8. නා. ආයුධයක්; කුන්තායුධය; තෝමරය.

කෝලහලය

1. නා. බොහෝ දෙනකු එක විට නඟන ශබ්දය; එක විට නැඟෙන ශබ්දය; එක විට ඇති වන ඝෝෂාව.
2. නා. දබරය; රණ්ඩුව; කලහය.
3. නා. පෙරදිග සංගීතයෙහි ගායක ගායිකාවන් විසිහතර දෙනකු ගෙන් හා වාදකයන් අට දෙනකු ගෙන් සෑදුණු සංගීත කණ්ඩායම; වෘන්දය.

කෝල්

1. නා.ප්‍ර. කෝලායුධය; කුන්තායුධය; තෝමරය.
2. නා.ප්‍ර. ජලාශයක සීමාව; ඉවුර.
3. නා.ප්‍ර. රට අඟුරු; ගල් අඟුරු.

කෝල්ටරය

නා. පස් පිඬැලි කැපෙන සේ නඟුල ඉදිරිපස යොදා ඇති කැපුම් තලය; නඟුල් දත; හීවැල.

කෝල්පාඩුව

1. නා. පහතරට නැටුම් විශේෂයක්.
2. නා. කොහොඹා කන්කාරියේ දී ඉරුගල් බණ්ඩාර ආදි දෙව්වරුන්ට කරන ආරාධනාවා.
3. නා. කොලොප්පම; සරදම; විහිළුව; සමච්චලය.

කෝල්බඩ

නා. වැව් ආදි ජලාශවල ගොඩබිමට ආසන්න නොගැඹුරු තීරුව; ඉවුරුබඩ.

කෝල්බෘක් කොමිසම

නා. ලංකාවේ ආණ්ඩුක්‍රමය සංශෝධනය කිරීම සඳහා පරීක්ෂා කොට වාර්තා කිරීමට 1829 දි පත් කළ කොමිෂන් සභාව.

කෝල්මුරකවි

නා.ප්‍ර. ප්‍රාදේශීය දෙවියන්ගෙන් පිහිට ඉල්ලා ස්තෝත්‍ර වශයෙන් කියනු ලබන කවි; කවියෙන් දෙවියන්ට කරන යාදින්න; දේවස්තෝත්‍ර.

කෝලාරුව

නා. නැතිබැරිකම; හිඟපාඩුව.

කෝලිකාරම්

නා.ප්‍ර. කුකුළන්ගේ අසූචි; කුකුළු වසුරු.

කෝලිකුට්ටු

නා. ඉදුණු විට රතු කහ පැහැයෙක් ගන්නා මිහිරි රසයෙන් යුතු කෙසෙල් වර්ගයක්.

කෝලිච්චම

1. (කථා.) නා. විහිළුව; සරදම; කොළොප්පම; සමච්චලය; කවටකම.
2. නා. සුළු කලබලය; අඬදබරය.

කෝලින්

(පාරිභා.) නා.ප්‍ර. පිත; මොළය; බිත්තර කහමදය හා ඇතැම් මේද ආදියෙහි තිබෙන කාබනික භස්මයක් (=choline).