සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 602

ගුරුතාපක

(පාරිභා.) වි. උෂ්ණත්වයේ විශාල විපර්යාස දරා සිටීමේ ශක්තිය ඇති.(=eurythermic)

ගුරුන්නාන්සේ

1. නා. ගුරුවරයා; ආචාර්යවරයා; උපදෙස් දෙන්නා.
2. (කථා.) නා. බෙර වයන්නා; බෙරවායා.
3. (කථා.) නා. නක්ෂත්‍ර කාරයා.
4. නා. මන්ත්‍ර ගුරුකම් කාරයා; කට්ටාඩියා.

ගුරුපස

1. නා. එළු හෝඩියේ දීර්ඝ ලෙස උච්චාරණය කරනු ලබන ආ, ඊ, ඌ, ඒ, ඕ යන අකුරු පහ.
2. (කථා.) නා. ගුරුපාටින් යුත් පස හෙවත් පාංශුව.

ගුරුපිරියම්

නා.ප්‍ර. රත් සුනු ගෑම; ගුරු ආලේප කිරීම.

ගුරුපොත

නා. ආදර්ශ හා උපදෙස් ලබා දෙන මුල් පොත; අත්පොත; පෙළපොත.

ගුරුලේත්තුව

නා. බීමට වතුර තබා ගැනීම සඳහා තැනූ දිගු කරක් ඇති මැටිමුවා භාජන විශේෂයක්.

ගුරුවරයා

නා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; අධ්‍යාපනය ලබා දෙන තැනැත්තා; ආචාර්යවරයා.

ගුරුහරුකම

නා. උපදේශය; අවවාදය; දැනමුතුකම.

ගුරූපදේශකයා

1. නා. ගුරුහරුකම් දෙන තැනැත්තා; ගුරුවරයකු මෙන් උපදෙස් දෙන තැනැත්තා.
2. නා. ගුරුවරුන් සඳහා උපදෙස් දෙන තැනැත්තා.

ගුල

1. නා. දිගට විහිදී යන සිදුර හෙවත් කුහරය; තව්ව.
2. නා. ආරක්ෂිත ස්ථානය.

ගුල්පපාද

(පාරිභා.) නා.ප්‍ර. උත්පත්තියෙන් ම ඇති වූ විරූප පාදය; සොට්ටි පාදය (=talipes).

ගුල්පොංචිය

(පාරිභා.) නා. ලෝහ තහඩු ආදියෙහි හිල් විදින උපකරණය (=hollow punch).

ගුල්ඵය

නා. ඇස්වටය; වළලුකර; බොලට.

ගුල්ඵාස්ථිය

නා. කකුලෙහි පිහිටි දික් වූ ඇට දෙකින් බාහිර පාර්ශ්වයෙහි පිහිටා තිබෙන දික් වූ ඇටය (=fibula).

ගුල්මය

1. නා. ගස් හා වැල් එකට පැටලී සෑදුණ අකුල.
2. නා. පැරණි යුද්ධ සේනාවකට අයත් කුඩා කණ්ඩායමක්.
3. නා. ශරීරය තුළ පිහිටි කුඩා ඉන්ද්‍රියයන් වන පිලාව හෙවත් බඩදිය.
4. නා. පිලාවේ ඇති වන රෝගයක්.
5. නා. පණුවෙක්.

ගුලාව

(කථා.) නා. තෙල් දමන කුඩා භාජනය; තෙල් කුලාව; සෙක්කුවල තෙල් වෑස්සෙන සිදුර හෙවත් ගුල.

ගුලු ඇණය

නා. ලාකඩ පට්ටලයක ලියවනු ලබන භාණ්ඩය හිරකර තැබීමට සවි කොට ඇති වානේ උල් දෙකින් එකක්.

ගුවන

නා. අහස; ආකාශය.

ගුවන් කඳවුර

නා. ගුවන් නැව් කඳවුර; යුධ අහස්යානා මධ්‍යස්ථානය.

ගුවන් තරණය

(පාරිභා.) නා. ගුවනින් යාත්‍රා කිරීම අහසින් යෑම (=aviation).

ගුවන් පර්යාලෝකය

(පාරිභා.) නා. අහසට පෙනෙන ආකාරය (=aerial perspective).

ගුවන් පරිවහනය

(පාරිභා.) නා. ගුවන් නැව් මගින් මගීන් සහ බඩු එහා මෙහා ගෙන යෑම (=air transport).

ගුවන් මඟ

1. නා. අහස; අහස්තලය.
2. නා. ගුවන්යානා ගමන් කරන නියමිත මාර්ගය; ගුවන් මාර්ගය (=air rouet).

ගුවන් මැනීම

(පාරිභා.) නා. ගුවන් නැවින් ගොස් ඡායාරූප ගැනීමෙන් කරන පිරික්සුම.(=air survey).