සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 644

චුම්බක මානය

(පාරිභා.) නා. චුම්බක ක්ෂේත්‍රවල ප්‍රබලතාව මැනීමට භාවිත කරන විවර්තිත චුම්බක සූචිය (=magne to meter).

චුම්බක මාලිමාව

(පාරිභා.) නා. දිශා දැනගැනීම සඳහා භාවිත කරන උපකරණය (=magnetic compass).

චුම්බක සමකය

නා. චුම්බක නිරක්ෂය.

චුම්බක ස්‍රාවය

(පාරිභා.) නා. චුම්බක ක්ෂේත්‍රයක නියමිත පෘෂ්ඨයක් හරහා යන මුළු චුම්බක ප්‍රේරණ රේඛා සංඛ්‍යාව (=magnetic flux).

චුම්බක සූචිය

(පාරිභා.) නා. මාලිමා යන්ත්‍රයේ සවි කොට ඇති ආකර්ෂණ බලයෙන් යුත් කටුව; කාන්දම් කටුව (=magnetic needle).

චුම්බකගාමක බලය

(පාරිභා.) නා. විද්‍යුත්ධාරාවක් ගෙන යන දඟරයක් විසින් ඇති කෙරෙන බලය (=magnetomotive force).

චුම්බකත්වය

1. (පාරිභා.) නා. කාන්දම් බලය.
2. නා. චුම්බක හා චුම්බක ක්ෂේත්‍රවල ක්‍රියාකාරිත්වය පිළිබඳ වූ විද්‍යාව (=magnetism).

චුම්බකනය

(පාරිභා.) නා. යකඩ වානේ ආදියෙහි කාන්දම් ගුණය ප්‍රවේශ කිරීම; කාන්දම් පෙවීම (= magnetisation).

චුම්බකය

1. නා. කාන්දම; කාන්දම් කැබැල්ල.
2. නා. කාන්දම් ගල; ලෝහ කාන්තය.
3. නා. තරාදියක මැද ඇති ඉහළ කොටස.

චුම්බටකය

1. නා. සිනිඳු කොට්ටය.
2. නා. දරණුව; සුඹුළුව; වෙළුව.

චුම්බනය

නා. සිඹීම; සිප ගැනීම.

චුල්ල

වි. කුඩා; පුංචි; සුළු; වයසින් බාල.

චුල්ලවග්ග

නා.ප්‍ර. විනය පිටකයට අයත් ග්‍රන්ථ පහෙන් සිවුවැන්නේ නාමය; සුළුවග.

චුල්ලි

1. නා.ප්‍ර. ලිප; උදුන.
2. නා.ප්‍ර. චිමිනිය; නලය.
3. නා.ප්‍ර. මළවුන් දවන දර සෑය.

චුල්ලිකාව

(පාරිභා.) නා. සිතියමක ලක්ෂ්‍යයක් සෙවිමට සැකසූ පරිමාණ රේඛාව; ජාලකය (=graticule).

චුලුක

1. නා.ප්‍ර. ජලය ලබා ගැනීමට ගොටු කරගත් අත් දෙක; අතළොස්ස.
2. නා.ප්‍ර. මඩ; පඞ්කය.

චූටි

(කථා.) වි. කුඩා; පුංචි; පොඩි; චූටියා.

චූටියා

(කථා.) නා. පුංචි දරුවා; කුඩා තැනැත්තා.

චූඩා කර්මය

නා. (හින්දු චාරිත්‍රානුකූල ව) මුදුනේ කෙස් රොදක් ඉතිරි කොට තබා පළමු වරට උත්සවාකාරයෙන් හිස මුඩු කිරීම.

චූඩාමණිය

නා. හිසේ පළඳින මැණික; මුදුනේ පළඳන මැණික.

චූඩාව

1. නා. (හින්දු චාරිත්‍රානුකූලව) හිස් මුදුනේ ඉතිරි කළ කෙස් රොද; කුඩුම්බිය.
2. නා. මොනරාගේ හිසෙහි ඇති කුඩුම්බිය.

චූතක

1. නා.ප්‍ර. අඹ.
2. නා.ප්‍ර. කුඩා ළිඳ; නොගැඹුරු ළිඳ.

චූර්ණ

වි. ඉතා සියුම් කුඩු බවට පත්; සුනු වූ.

චූර්ණකර

නා.ප්‍ර. කැල්සියම්.