සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 667

ජලසංචායක

වි. (උද්භි.) ජලය රැස් කර තබන; නියං කාලයේ දී ලබා ගනු පිණිස ශාකය තුළ ජලය රැස්කර තබා ගන්නා වූ.

ජලසංමුද්‍රිත

වි. දිය පිටවීම හෝ ඇතුළු වීම වැළකෙන පරිදි තදින් වසන ලද (=water-tight).

ජලසන්නිය

නා. වමනය; තදින් බඩ විරේක වීම ආදිය ලක්ෂණ කොට ඇති රෝගයක්.

ජලස්කන්ධය

1. නා. එකට එකතු වූ දිය රැස; දිය කඳ; ජලරාශිය.
2. නා. අඛණ්ඩව ගලා බස්නා ජල ධාරාව; දිය දහර; දියකඳ.

ජලස්ථ

වි. දියෙහි පිහිටි; වතුරෙහි වෙසෙන හෝ තිබෙන.

ජලස්ථිති විද්‍යාව

නා. (භෞති.) නිශ්චල ද්‍රවවල පීඩන හා බල පිළිබඳ යාන්ත්‍රික විද්‍යාව; ද්‍රවස්ථිති විද්‍යාව.

ජලස්‍රාවය

නා. ජලය ගැලීම; දිය වැගිරීම.

ජලහෝරා යන්ත්‍රය

නා. ජලයේ උපකාරයෙන් වේලාව දක්වන පැරණි උපකරණයක්; පෑතැටිය.

ජල්පනය

1. නා. කීම; කථා කිරීම; බිණීම.
2. නා. මැතිරීම; ජප කිරීම.
3. නා. මෙනෙහි කිරීම; ආවර්ජනා කිරීම.

ජල්පිතය

1. නා. කියන ලද දෙය; කීම.
2. නා. හිස් කථාව; නන්දෙඩවිල්ල.

ජල්ලි

1. නා.ප්‍ර. ජෙලටින් ආදියෙන් සාදා ගන්නා මෘදු ලොඳ වැනි රසවත් කෑමක්.
2. නා.ප්‍ර. ශාක ද්‍රව්‍යවලින් ලබා ගන්නා එවැනි ම ද්‍රව්‍යය.
3. නා.ප්‍ර. ඕනෑ ම ලොඳ වැනි ද්‍රව්‍යයක්.
4. නා.ප්‍ර. සිංහල ක්‍රීඩාවක්; පන්දු කෙළිය.

ජල්ලි අල්ලනවා

(කථා.) ක්‍රි. දබර කරනවා; සණ්ඩු කරනවා.

ජල්ලි දමනවා

ක්‍රි. ජල්ලි ක්‍රීඩාවෙන් දිනූ පිල පැරදුණු පිලට කෙළිකවට ගී ගයනවා.

ජලාංගවර්තනය

(පාරිභා.) නා. (වෘක්ෂලතාදියෙහි මුල්, අතු ආදිය) ජලය දෙසට හෝ ඉන් බැහැරට ඇදී යෑම; ජලයේ උත්තේජකයට ප්‍රතිචාරය දැක්වීම; ජලාවර්තනය. (=hydrotropism)

ජලාකර්ෂක

[ජල + ආකර්ෂක]
1. (පාරිභා.) නා. තෙතමනය උරා ගන්නා; ජලය බී ගන්නා; ජලය අවශෝෂණය කරන (=hygroscopic).
2. නා. තෙතමනය උරා ගැනෙන නමුත් ද්‍රව නොවන ඝන ද්‍රව්‍යයක්.

ජලාඤ්ජලිය

[ජල + අඤ්ජලිය]
නා. වතුර පුරවා ගත් දෑත; දියදෝත.

ජලාපවහනය

[ජල + අපවහනය]
නා. (පාරිභා.) ජලය උපකාර කොට ගෙන නළ මගින් කසළ බැහැර කිරීම (=drainage).

ජලාබු

නා.ප්‍ර. දරු බොක්ක; ගර්භාශය; දලබුව.

ජලාබුජ

1. වි. දලබුවෙන් උපදින; මාතෘ ගර්භයකින් ජනිත වන.
2. (උද්භි.) වි. ගසේ තිබියදීම හෝ ගෙඩිය තුළ දී ම බීජ හටගන්නා; මවු ශාකයෙන් වෙන් වීමට පෙර පැළවෙන.
3. (සත්ව.) වි. (උපදින විට ම) බෙහෙවින් වැඩී බිහි වන; වැඩුණු සත්ත්වයන් ලෙස උපත ලබන.
නා.ප්‍ර. මවුකුසයෙහි උපදින සත්ත්වයා.

ජලාභේද්‍ය

වි. වතුර උරා නොගන්නා; ජලය කාන්දු නොවන.

ජලාර්ණවය

[ජල + අර්ණවය]
1. නා. මුහුද.
2. නා. වර්ෂා සෘතුව.

ජලාර්ධගෝලය

[ජල + අර්ධගෝලය]
නා. (භූගෝ.) ගොඩ බිමට වඩා සාගර අධික ව ඇති අර්ධ ගෝලය; ජලය වැඩි අර්ධ ගෝලය.

ජලාලය

[ජල + ආලය]
(පාරිභා.) නා.ප්‍ර. ජලජ සතුන් ඇති කිරීමට හා පැළෑටි වැඩීමට ඇති කුඩා ටැංකිය හෝ ටැංකි ගණනාවකින් යුත් ගොඩනැගිල්ල; ජලචර ප්‍රදර්ශන ශාලාව(=aquarium).

ජලාවගාහය

[ජල + අවගාහය]
නා. දියෙහි නිමග්න වීම; දිය යට ගිලීම.