සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 776

තෙල් වළල්ල

නා. එන්ජිමක් ක්‍රියා කරන විට දී සිලින්ඩර බිත්තිවලින් වැඩිපුර තෙල් සූරාලීම සඳහා පිස්ටනයට සවි කොට ඇති ලෝහ වළල්ල.

තෙල් වෑල්වය

(පාරිභා.) නා. යන්ත්‍රාදියෙහි තෙල් එක් දිශාවකට පමණක් යා හැකි සේ සවිකළ කපාටය; තෙල් කපාටය.

තෙල් සණ

නා. දැළිපිහියාදිය, මුවහත් තියන තෙල්ගල.

තෙල් සායම

නා. තෙලෙන් දිය කර ගන්නා සායම; තෙල් මිශ්‍ර තීන්ත වර්ගය (=oil paint).

තෙල් හැන්ද

(කථා.) නා. තෙලෙන් බැඳ කැවිලි සෑදීමේ දී ඊට උපයෝගී කරගන්නා සිදුරු සහිත ලෝහමය හැන්ද.

තෙල් ළිඳ

නා. තෙල් ලබා ගැනීමට හාරනු ලබන ගැඹුරු ආවාටය; තෙල් ආකරය.

තෙල්තැටිය

නා. රසකැවිලි තැනීමට ගන්නා තෙල් දැමූ බඳුන; තාච්චිය.

තෙල්දෙණ

1. නා. තෙල් වත්කළ මංජුසාව.
2. නා. මෝටර් රථ එන්ජිමක දඟර කඳ කුටීරය යට සවි කොට ඇති ස්නේහනය සඳහා යෙදවෙන තෙල් ගබඩාවක් මෙන් ක්‍රියා කරන තෙල් තැටිය (=oil sump).

තෙල්බූ

1. නා.ප්‍ර. කැරපොත්තා.
2. නා.ප්‍ර. තෙල් කුහුඹියා.
3. නා.ප්‍ර. ගෝනුස්සා.

තෙල්මේ

නා.ප්‍ර. දෙවොල් නැටුම් විශේෂයක්; මෙය දෙවියන් උදෙසා දක්වන නෘත්‍ය කාණ්ඩයකි; තොවිල්වලට අයත් ප්‍රධාන නාට්‍යාංගයකි.

තෙල්ල

නා. සිතුවම් අඳින කූර; තෙලිකූර.

තෙල්වළ

1. නා. සිතුවම් අඳින කූර; තෙලිකූර.
2. නා. තෙලොළුව.

තෙල්ශල්ක

නා.ප්‍ර. අවසාදනයෙන් සැදුණු මැටි පාෂාණවලින් එකක්.

තෙල්සාත්තුව

නා. ඇතැම් රෝග සුව කිරීමට තෙල් මතුරා ගෙල වට හා මුහුණේ ගෑම.

තෙලි

1. නා.ප්‍ර. සිතුවම් අඳින කූර; පින්සල; තුලිකාව.
2. නා.ප්‍ර. සිතුවමක් සිටින දරා ද්‍රව්‍යය.
3. නා.ප්‍ර. මත්ස්‍යයෙක්.
4. නා.ප්‍ර. රන්රිදී බඩු සාදන්නා.
1. වි. තෙල් ඇති; තෙල් සහිත.
2. වි. තෙල් කැමැති.
3. වි. තල් ගසින් උපන්.

තෙලි කූර

1. නා. සිතුවම් කිරීමේදී භාවිත කරන උපකරණයක්; පින්සලය.
2. (කථා.) නා. පුස් කොළවල රූල් අඳින කටුව.

තෙලික

නා. අත් තෙල් සිඳීමේ දී තෙල් බේරාගත් පසු හට්ටියේ පතුලේ ගන ව බැඳී ඉතිරි වන තෙල් බොර.

තෙලිකම

1. නා. පින්සලෙන් ඇඳීම.
2. නා. ඉස්සාගේ ගැහැනු සතාගේ අවසාන චරපාද යුගල අතර පිහිටි වටකුරු මධ්‍යස්ථ උදරීය සිදුරක් සහිත වූ අවයවය.

තෙලිඟු

නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ වාසය කරන ජන කොට්ඨාසයක් හඳුන්වන නාමය සහ ඔවුන්ගේ භාෂාව.

තෙලිජ්ජ

නා. පොල්, කිතුල් වැනි ගස්වල මල මේරීමට පෙර තැළීමෙන් ලබා ගන්නා ප්ලෝයම් යුෂය; තෙලිදිය; මීරා.

තෙලෙන් කනවා

(කථා.) ක්‍රි. සැපවත් ජීවිතයක් ගත කරනවා; සුඛෝපභෝගී ජිවිතයක් ගත කරනවා.

තෙලෙන් දිවුරනවා

(කථා.) ක්‍රි. පැරණි දිවුරුම් ක්‍රමයක්; නඩුවක් විභාග කිරීමේ දී කකියන තෙල් භාජනයකට අත දමා තමා සත්‍යය ප්‍රකාශ කරන බව දිවුරා ප්‍රකාශ කරනවා.

තෙලොළුව

නා. ළදරුවන්ගේ හිස් මුදුනේ පිහිටි එබෙනසුලු ස්ථානය; තෙල්වළ.

තෙවට

1. නා. තුන්වර; අවස්ථා තුන.
2. නා. සත්ත්වයා නැවත නැවත ඉපදීමට හේතු වන කර්ම, විපාක, ක්ලේශ යන කරුණු තුන.