සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 855

දුර්භරණය

නා. අමාරුවෙන් පෝෂණය කිරීම.

දුර්භාග්‍ය

වි. අවාසනාවන්ත; අභාග්‍යසම්පන්න.

දුර්භාෂිත

වි. නොමනා ලෙස කියන ලද; නපුරු ලෙස පැවසූ.
1. නා.ප්‍ර. නපුරු වචන.
2. නා.ප්‍ර. විනයාගත වූ අල්ප සාවද්‍ය ඇවැත් වෙසෙසක්.

දුර්භික්ෂය

නා. කෑම්බීම් නැති වී යෑම; උග්‍ර වූ ආහාර හිඟය; සාගතය.

දුර්භෝජනය

නා. අයහපත් ආහාරය; දුකසේ ගන්නා බොජුන.

දුර්මතය

නා. වැරදි සිතුවිල්ල; සදොස් අදහස.

දුර්මුඛ

වි. අසතුටු මුහුණක් ඇති; කලකිරුණු; උකටලී බවට පත්.

දුර්මුඛ කරනවා

ක්‍රි. (කථා.) නිහඬ කරනවා; පරාජිත බවට පත් කරනවා.

දුර්මුඛය

1. නා. වස් දොස් ඇති කට; දුර්භාෂිත නඟන මුව.
2. නා. විරූපී මුහුණ; අප්‍රියකර මුව.

දුර්මුඛයා

නා. නොපහන් මුහුණක් ඇත්තා; කලකිරුණු පුද්ගලයා.

දුර්මේධ

වි. මෝඩ; අඥාන.

දුර්ලක්ෂ්‍ය

වි. ලක් කර ගැනීමට අමාරු; එල්ල කර ගැනීමට අපහසු; දැකීමට දුෂ්කර වූ.

දුර්ලඞ්ඝ්‍ය

වි. ඉක්මවීම අපහසු.

දුර්ලබ්ධිය

නා. වැරදි විශ්වාසය; මිථ්‍යාදෘෂ්ටිය.

දුර්ලභ

වි. ලබා ගැනීමට අමාරු; සපයා ගැනීමට දුෂ්කර; හිඟ; විරල.

දුර්වචයා

නා. අවවාද නොපිළිගන්නා තැනැත්තා; අකීකරු තැනැත්තා.

දුර්වල

වි. ශක්තිය අඩු; බෙලහීන; දුඹුල්.

දුර්වල ස්කන්ධ

නා.ප්‍ර. (තනි ව නැගී සිටීමේ) ශක්තිය නැති කඳ; (වැල් ආදියේ) දුබල කඳ.

දුර්වාර

වි. වැළැක්වීමට අපහසු.

දුර්විඥෙය

වි. අවබෝධ කර ගැනීමට දුෂ්කර.

දුර්විනීත

වි. නොහික්මුණු; චපල.

දුර්විපාක

නා.ප්‍ර. අයහපත් ප්‍රතිඵල.

දුර්වෘත්තිය

නා. අයහපත් රැකියාව; ධාර්මික නොවන රක්ෂාව.

දුරාඛ්‍යාත

[දුර් + ආඛ්‍යාත]
වි. නපුරු කොට කියූ.