සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 927

නියාමක අක්ෂය

(පාරිභා.) නා. (ගණිත.) කේතුවක හැම ලක්‍ෂ්‍යයකම සිට ඇති දුර නොවෙනස් ව නියතයක් ව සිටිනා අයුරු) තනි ලක්ෂ්‍යයක් ගත හැකි සේ පිහිටි රේඛාව (=directrix).

නියාමක රේඛාව

(පාරිභා.) නා. (විවිධ ස්ථානවලට කිසියම් තැනක සිට ඇති දුරත්, ඵ් අතර ඇති කෝණයත් මැනීමට) පාදක කරගන්නා රේඛාව.

නියාමකය

නා. ධාරාවක් හෝ වේගයක් පාලනය කරන උපකරණය; පාලකය.

නියාමකයා

1. නා. මුල් වූ තැනැත්තා; පුරෝගාමියා.
2. නා. ගැල් ආදි රථවාහන මෙහෙයවන්නා; නියමුවා; (නැව්) කප්පිත්තා.

නියාමනය

නා. නිරන්තරයෙන් ම සිදු කරන මඟ පෙන්වීම.

නියාමය

නා. ස්වභාව ධර්මයෙන් ඇති වන නියමය.

නියාය

නා. ආකාරය; අන්දම; ක්‍රමය; විධිය.

නියාලු

1. වි. නිවට; මෝඩ; බැගෑපත්.
2. වි. දුප්පත්; දිලිඳු.

නියාලුව

(කථා.) නා. නිවටකම; මූඪත්වය.

නියැතියා

[නිය + ඇතියා]
නා. ඥානවන්තයා; නුවණැත්තා.

නියැදිය

(පාරිභා.) නා. ආදර්ශකය; සාම්පලය (=sample).

නියැදුරා

[නිය + ඇදුරු]
නා.ප්‍ර. නීතිය දන්නා තැනැත්තා; නීතිඥයා.

නියැළුම

නා. කලකිරීම; වෙහෙසවීම; දුක්වීම.

නියුක්ත

වි. යෙදුණු; තත්පර වූ; ව්‍යාවෘත වූ; නියුතු.

නියුක්තිය

නා. යෙදීම; තත්පර වීම; නියැළීම.

නියුට්‍රෝනය

නා. අනාරෝපිත අනු පරමාණුක අංශුව; හයිඩ්‍රජන්වල හැර අනික් හැම පරමාණු න්‍යෂ්ටිවලම අඩංගු විද්‍යුත් ආරෝපණ රහිත මූලික සංඝටක අංශුව; ප්‍රොටෝනයට වඩා ස්කන්ධය අතින් ස්වල්පයක් වැඩිය; මූලද්‍රව්‍ය ස්කන්ධය සහ පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමට මෙය හේතුවේ.

නියුත

නා. දශ ලක්ෂය.

නියුතු

වි. යෙදුණු; නිරත වූ; නියුක්ත.

නියුමෝනියාව

නා. ශ්වාසනාලිකාව හා පුප්ඵුසය ආශ්‍රිත ව සෑදෙන රෝගයක්; වා-සෙම් සන්නිපාතය; පෙනහැලිවල ඇති වායුකෝෂවලට විෂබීජ ඇතුළු වීම නිසා ඒවා ඉදිමීමෙන් සෑදෙන රෝගය.

නියුරෝනය

නා. ස්නායු සෛල; ස්නායු පද්ධතියේ අත්‍යවශ්‍ය මූලය.

නියුරෝමාව

(පාරිභා.) නා. (වෛද්‍ය.) ස්නායු පද්ධති‍යේ සෑදෙන ශෛලමය ගඩු; සෛලවල අසාමාන්‍ය එකතුවකින් ස්නායු පද්ධතියේ වර්ධනය වන ස්ඵෝට විශේෂය (=neuroma).

නියුරෝසියාව

(පාරිභා.) නා. (වෛද්‍ය.) ස්නායු හෝ මානසික රෝගයක් හා සම්බන්ධ වූ ස්නායු කෘත්‍යය; ස්නාස්‍යය (=neurosis).

නියුලුව

නා. කනගාටුව; දුක.

නියොන්

නා.ප්‍ර. නිෂ්ක්‍රිය වායුවක්; රසයක්, වර්ණයක් හෝ ගන්ධ රහිතය; ප්‍රතිදීප්ත විදුලි පහන් තැනීමේ දී බහුල ව යොදා ගැනේ (=neon).

නියොන් පහන

(පාරිභා.) නා. (භෞති.) නියොන් වායුව පුරවන ලද විදුලි පහන (=neon lamp).