සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 997

පරවැඩ

1. නා.ප්‍ර. අනුන්ගේ යහපත සඳහා කරන කටයුතු ; පරාර්ථකාමී කාර්ය.
2. අනුන්ගේ වැඩ.
3. පහත් වැඩ.

පරවිටිය

1. නා. පරම්පරාව ; පරපුර.
2. මිය යෑම ; කාලක්‍රියාව.

පරවිටිලිය

නා. වෙන් වීම ; වියෝගය ; මරණය.

පරවෙණිය

නා. පරපුරෙන් පරපුරට අයිති වන සේ රජුගෙන් ලැබුණු ඉඩම ; පමුණුබිම ; ප්‍රවේණිය.

පරශු

නා.ප්‍ර. පොරොව.

පරශුදන්ත

නා.ප්‍ර. දත් වර්ග සතරෙන් එකක් ; දත් ඇඳි දෙකේ ඉදිරියෙන් ම පිහිටි පැතලිදත් ; පොරෝ දත්.

පරශුරාම

නා.ප්‍ර. විෂ්ණු දෙවියන්ගේ දස අවතාර අතුරින් එක් අවතාරයක් ; ජමදග්නි සෘෂිහුගේ පුත්‍රයා.

පරස

1. නා.ප්‍ර. ප්‍රණීත රසය ; බලවත්ම මිහිර
2. අඩුපාඩුව ; බාධකය ; වැරැද්ද ; ඌනතාව ; පරහ.

පරසක්වළ

නා.ප්‍ර. සූර්යයාගේ ආකර්ෂණ සීමාවෙන් පිටත පිහිටි ලෝක ධාතුව ; පිට සක්වළ.

පරසතු

නා.ප්‍ර. දිව්‍ය ලෝකයෙහි ඇතැයි පැවසෙන දිව්‍ය වෘක්ෂ පසින් එකක් ; පාරිජාත වෘක්ෂය.
වි. අනුන්ට අයිති ; අනුන් සතු.

පරසර ලොප් සඳ

නා.ප්‍ර. පරස්වර ලෝප සන්ධිය ; සන්ධි වන පද ද්වයක දෙ වැනි පදයෙහි මුල් ස්වරය ලොප් කිරීමෙන් ගළපන සන්ධිය.

පරස්පර

1. වි. එකිනෙක.
2. එකිනෙකට විරුද්ධ ; වෙනස්.

පරස්පර විරෝධය

නා. එකිනෙකට විරුද්ධ බව ; අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධතාව.

පරසිදු

වි. ප්‍රසිද්ධ ; ප්‍රකට‚ ප්‍රචලිත.

පරහ

1. නා. අඩුව ; අඩුපාඩුව ; දෝෂය.
2. බාධාව ; සම්බාධකය.

පරහිත

නා.ප්‍ර. අනුන්ට කරන යහපත ; පරනට ඇති හිතවත් බව ; පරාර්ථකාමය.

පරළු

1. නා.ප්‍ර. තිරිඟු පිටි අඹරා ගැනීමේ දී වෙන් වන ඇහි සහිත නිවුඩු කොටස.
2. නුග ආදි ගස්වල අතුවලින් එල්ලී වැටෙන ලණු වැනි මුල් ; අරළු ඇටුවම්.
3. ගස් යට වැටී ඇති වියළි කොළ.
වි. කටුක ; රළු ; කර්කශ ; මෘදු නොවන.

පර්ච්

නා.ප්‍ර. ඉඩම්වල ප්‍රමාණය දැක්වීමේ මිනුම් ඒකකයක් ; අක්කරයකින් 1/160ක ප්‍රමාණය ; පර්චස්.

පර්ජන්‍ය

1. නා. වලාකුළ ; වැසි වලාකුළ.
2. වර්ෂාව.
3. වේදයෙහි සඳහන් පරිදි, වර්ෂාව පිළිබඳ දෙවියා.

පර්ඩාව

නා. මුස්ලිම් කාන්තාවන්ගේ හිස්වැස්ම.

පර්ණ

1. නා.ප්‍ර. කොළය ; පත්‍රය
2. ඖෂධ ශාක විශේෂයක් ; බුලත් ; එරබදු හෝ කොල්ලන් කොළ.

පර්ණකය

(පාරිභා.) නා. 1. එක ම නිෂ්පන්දයක දී දෙකෙළවරින් අවසාන වන නිෂ්පන්ද චක්‍රයක පරිමිත පුඩුව.
2. (පොල් අත්තෙහි පොල් කොළ මෙනි.) ලොකු කොළයකට අයත් කුඩා කොළය.

පර්යංකය

1. නා. පලඟ ; හිඳිනා ආසනය ; පුටුව.
2. අරමිණිය ගොතා හිඳීම ; ඌරුබද්ධාසනය.

පර්යටක

වි. රටකින් රටකට යන ; දේශාටනයෙහි යෙදෙන ; සංචාරය කරන.
නා.ප්‍ර. දේශ සංචාරකයා.