අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 126

ජිනපඤ්ජරය

නා. සෙත් පිරිතක නාමය (පා. ජිනපඤ්ජර)

ජිව්හාව

නා. දිව (පා. ජිව්හා)

ජීරණය

නා. දිරායෑම/ ආහාර ආදිය දිරවීම (සං. ජීර්ණ)

ජීව පදාර්ථ

නා.ප්‍ර. ශරීරයේ වැඩීම සඳහා අවශ්‍ය විටමින්

ජීවග්‍රාහය

නා. පණපිටින් අල්ලාගැනීම

ජීවන වෘත්තිය

නා. ජීවත් වීම සඳහා කරන රැකියාව

ජීවනදෘෂ්ටිය

නා. ජීවිතය පිළිබඳ දැකීම

ජීවනය

නා. ජීවත්වීම; දිවි පැවැත්ම (පා. සං. ජීවන)

ජීවනාධාරය

නා. ජීවත් වීමට ආධාර වශයෙන් දෙනු ලබන මුදල හෝ ආධාර දීමනාව

ජීවනෝපකරණ

නා.ප්‍ර. ජීවත්වීමට අවශ්‍ය උපකරණ

ජීවනෝපාය

නා.ප්‍ර. යැපීම් මාර්ගය; රැකියාව (සං. ජීවනොපාය)

ජීවමාන

වි. ජීවත් ව සිටින; ධරමාන (පා. ජීවමාන)

ජීවාණුව

නා. රෝග බෝ කරන ක්ෂුද්‍රබීජය; විෂබීජය/ කාබනික ද්‍රව්‍යයන්ගේ ඉතා කුඩා ම ඒකකය; සෛලය

ජීවාණුහරණය

නා. රෝගයකට හේතුකාරක වන ජීවාණු හෝ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම

ජීවිතක්ෂය

නා.ප්‍ර. දිවි නැතිවීම; මරණය (සං. ජීවිතක්‍ෂය)

ජීවිතාරක්ෂාව

නා. ජීවිතයට අනතුරක් විය නොදී රැකීම

ජීවිතාශාව

නා. ජීවත් වීමේ ආශාව (සං. ජීවිතාශා)

ජුගුප්සාව

නා. පිළිකුල; අප්‍රියභාවය (පා. ජිගුච්ඡා සං. ජුගුප්සා)

ජුණ්හ පක්ෂය

නා. සඳ එළිය වැඩෙන පසළොස් දවස

ජුන්ටා

1. නා.ප්‍ර. සමිතිය; සංවිධානය (පුර්. juncta ඉං. juncta) 2. රහස් දේශපාලන සංවිධානය (පුර්. juncto ඉං. juncto)

ජුබිලය

නා. පනස් වසක් පිරීමේ උළෙල; ස්වර්ණ ජයන්තිය (ඉං. jubilee)

ජෛන

වි. නිගණ්ඨනාථපුත්තගේ සසුනට හෝ ධර්මයට හෝ අයත් (සං. ජෛන)

ජෛව

වි. ජීව විද්‍යාව පිළිබඳ වූ (සං. ජෛව)

ජෛවගෝලය

නා. පෘථිවි ගෝලයේ ජීවීන් වාසය කරන ප්‍රදේශය