අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 161

ධ්වනිත

වි. ශබ්ද කරන ලද; වචනයෙන් පවසන ලද (සං. ධ්වනිත)

ධ්වනිතාර්ථය

නා. ව්‍යංග්‍යාර්ථය (සං. ධ්වනිතාර්ථ)

ධ්වනිය

නා. ශබ්දය; හඬ; රාවය/ කනෙන් දැනෙන සංවේදනය/ ව්‍යංග්‍යයෙන් ගත යුතු අර්ථය (සං. ධ්වනි)

ධ්‍යානය

නා. භාවනාවෙන් ලබන සිතේ දැඩි එකඟ බව; දැහැන (සං. ධ්‍යාන)

ධ්‍යානලාභි

වි. ධ්‍යාන උපදවා ගත්; ධ්‍යාන ලැබූ (පා. ඣානලාභී)

ධ්‍රැවය

නා. පෘථිවි අක්ෂයේ උතුරු කොනේ හා දකුණු කොනේ තිබෙන ලක්ෂ්‍යය/ ස්ථීරත්වය/ ඉලෙක්ට්‍රෝඩයක් හෙවත් විද්‍යුත් අග්‍රයක් (සං. ධ්‍රැව)

ධාත්වර්ථය

නා. ක්‍රියා මූලයක් වූ ධාතුවකින් කියැවෙන අර්ථය

ධාතු ගර්භය

නා. සර්වඥ ධාතු ආදි පූජා වස්තු තැන්පත් කිරීම සඳහා ස්තූප බඳෙහි මැද හිස් ව තබන කොටස/ ධාතු තැන්පත් කොට තැනූ ස්තූපය (සං. ධාතුගර්භ)

ධාතු නිධානය

නා. ධාතු තැන්පත් කොට තබන තැන; ධාතු තැන්පත් කිරීම

ධාතු පරිනිර්වාණය

නා. ශාසනාවසානයෙහි සිදුවෙතැයි සැලකෙන බුදුන්වහන්සේගේ ශාරීරික ධාතු අහෝසි වීම

ධාතුකරඬුව

නා. ධාතු තැන්පත් කර ඇති මඤ්ජුසාව

ධාතුඝර

නා.ප්‍ර. දාගබ් වටා ආවරණයට ඉදිකර ඇති ගොඩනැගිල්ල; වටදාගේ (පා. ධාතුඝර)

ධාතුප්‍රකෘතිය

නා. ප්‍රත්‍යය එක්වීමට පෙර ආඛ්‍යාතයේ මුල් ස්වභාවය

ධාතුව

නා. ලෝකයේ විද්‍යමාන සියලු වස්තු දරා සිටීමට උපකාර වන මූලද්‍රව්‍ය/ බුද්ධාදි උතුමන්ගේ ශරීරයේ භස්මාවශේෂ (පා. සං. ධාතු)

ධාතුවංශය

නා. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක නාමය

ධාන්‍යය

නා. වි ආදි සස්‍ය; පොතු සහිත ඇට වර්ග/ එක් ඇටයක් සහිත කුඩා වියළි ඵලය (සං. ධාන්‍ය)

ධාන්‍යාකාර

වි. වී ගොඩක හැඩය ගත්; ධාන්‍ය ගොඩක ආකාරයෙන් යුත්

ධාරක

වි. දරන; උසුලන (සං. ධාරක)

ධාරණ ශක්තිය

නා. මතක තබා ගැනීමේ හැකියාව

ධාරණය

නා. දැරීම; රඳා පැවැත්ම/ ඇසූ දුටු දේ ආදිය සිත්හි දැරීම/ සිත නියමිත අරමුණක පිහිටුවීම (පා. සං. ධාරණ)

ධාරණශීලතාව

නා. යකඩ, වානේ ආදියට කවනු ලැබූ කාන්දම් බලය රඳා පැවතීමේ ශක්තිය

ධාරණාව

නා. එක ම අරමුණක පැවතීම (සං. ධාරණා)

ධාරණෝපචාරය

නා. ධාරණයට උපකාර වූ දෙය

ධාර්මික

වි. දහමට අනුකූල; දැහැමි; ධර්මානුකූල (සං. ධාර්මික)