අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 94

කුළුබඩු

නා.ප්‍ර. තුනපහ; කුරුඳු, ගම්මිරිස්, එනසාල් ආදි උද්භිද ද්‍රව්‍ය

කූජනය

නා. පක්ෂිනාදය (සං. කූජන)

කූට

වි. වංචනික; කපටි නා.ප්‍ර. ගිරිමුදුන; කුළ/ කැණිමඬල (පා. සං. කූට)

කූටාගාරය

නා. තනි මුදුනක් ඇති ගෙය (පා. සං. කූටාගාර)

කූටෝපක්‍රම

නා.ප්‍ර. කපටි උපාය

කූනිස්සා

නා. මත්ස්‍ය විශේෂයක නාමය

කූපනය

නා. බලපත්‍ර විශේෂ්‍යක්; සලාකය/ නම, දිනය වැනි තොරතුරු සහිත තුණ්ඩුව (ඉං. coupon)

කෘත

වි. කළ; කරන ලද (සං. කෘත)

කෘතඥ

වි. කළගුණ දන්නා වූ (සං. කෘතඥ)

කෘතහස්ත

වි. කරන ලද අභ්‍යාස ඇති (සං. කෘතහස්ත)

කෘත්‍ය

වි. කළ යුතු; සිදු කළ යුතු (සං. කෘත්‍ය)

කෘත්‍යාධිකාරී

නා.ප්‍ර. කාර්ය සම්පාදක

කෘත්‍රිම

වි. ස්වාභාවික නොවන (සං. කෘත්‍රිම)

කෘතිය

නා. රචනාව; ග්‍රන්ථය (සං. කෘති)

කෘතෝපකාරය

නා. කළ උපකාරය (සං. කෘතොපකාර)

කෘදන්ත

නා.ප්‍ර. ධාතුවකින් පර ව විවිධ අර්ථ ප්‍රකාශක ප්‍රත්‍යයන් යෙදීමෙන් සාදා ගනු ලබන ප්‍රත්‍යාර්ථ නාම (සං. කෘදන්ත)

කෘන්තක

වි. කැපීමට හැඩ ගැසී ඇති දත් සහිත (සං. කෘදන්තක)

කෘමිනාශක

වි. කෘමීන් විනාශ කරන

කෘමියා

නා. අපෘෂ්ඨවංශී කුඩා සතෙක් (සං. කෘමී)

කෘශ

වි. සිහින්; කෙට්ටු (සං. කෘශ)

කෘෂ්ණ

වි. කළු, තද නිල්/ අඳුරු/ පාපී; අනිෂ්ට (සං. කෘෂ්ණ)

කෘෂිකර්මය

නා. ගොවිතැන; ගොවි කර්මාන්තය (සං. කෘෂිකර්ම)

කෙටිකතාව

නා. ගද්‍යයෙන් යුතු දිගින් අඩු කතාව

කෙණ්ඩ

නා.ප්‍ර. ජංඝාව; දණහිසට සහ වළලුකරට අතර කොටස (දෙ. கெண்டை මල. කෙණ්ඩ)