සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1

අ

1. සිංහල හෝඩියේ මුල් අකුර සහ එහි මුල් ස්වරය.
2. (ව්‍යාක.) විරුද්ධ ප්‍රතිෂේධ ආදි අර්ථවල යෙදෙන අව්‍යයක්; නිද. අකුසල්; අහිංසක.
3. විෂ්ණු දෙවි.

අං

නා.ප්‍ර. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි ඉහළට නෙරා පවතින උල් අවයවය; අඟ; ශෘඞ්ගය.

අං අත්ත

නා. අතු වශයෙන් බෙදීගිය අඟ; අංපොකුර.

අං ආබරණ

නා.බහු. අංකෙළි පුදට යෝග්‍ය කොට පත්තිනි දෙවියන්ට කැප කළ අං.

අං ඇදිල්ල

නා. විවිධ උවදුරු දුරු කිරීම සඳහා පත්තිනි දේවිය උදෙසා පැවැත්වෙන අභිචාර ක්‍රීඩාවක් හෙවත් රැඟුමක්.

අං කූටය

1. නා. අත්පාවල මහ ඇඟිල්ල; මහපට ඇඟිල්ල.
2. නා. ඇතැම් මත්ස්‍යයන් ගේ එක් හකුවකින් වැඩී තිබෙන ඇඟිල්ලක් වැනි ස්පර්ශක උපාංගය.

අංක

නා.ප්‍ර. අංකය; අඞ්කය බ.

අංක ගණිතය

නා. ඉලක්කම් උපයෝගී කරගෙන ගණන් සෑදීමේ ශාස්ත්‍රය.

අංකන සංගුණකය

නා. වීජ ගණිතයෙහි ඝාතයක අංකයෙන් දක්වන සාධකය.

අංකනය

1. නා. ඉලක්කම්වලින් සංඛ්‍යා දැක්වීම; අංක යෙදීමේ කාර්යය.
2. නා. අංක රාශි ආදිය සංකේත මගින් නිරූපණය කිරීම; එසේ නිරූපිත සංකේත පද්ධතිය.

අංකය

1. නා. ඉලක්කම; සංඛ්‍යාව; 0 සිට 9 තෙක් ඕනෑ ම ඉලක්කමක් නිරූපණයට යොදන රූපය.
2. නා. ලකුණ; සටහන.
3. නා. පොත් සඟරා ආදියේ පරිච්ඡේදය/ කොටස.
4. නා. නාට්‍යයක ජවනිකාව

අංකරය

1. (කථා.) නා. නැංගුරම.
2. නා. දබරය; පොරය; රණ්ඩුව.

අංකිත

වි. ලකුණු කරන ලද; ඉලක්කමෙන්/ අංකයෙන් දක්වන ලද.

අංකිත කෝදුව

නා. අනුපිළිවෙළින් අංක දක්වන මාන උපකරණය.

අංකීරා

1. (කථා.) නා. කූරු වැනි උල් අං ඇති ගොනා; අනින ගොනා.
2. (රූඪි.) නා. කෛරාටික පුරුෂයා.

අංකුට්ටා

නා. අඟුළු වර්ගයේ මිරිදිය මත්ස්‍යයෙක්.

අංකුර බද්ධය

නා. ශාකයක අංකුරයක් අනෙක් ශාකයකට සම්බන්ධ කිරීම.

අංකුරය

1. නා. ශාකයක නොවැඩුණු ළපටි අවස්ථාව.
2. (පාරිභා.) නා. ජීවියකුගේ ශරීරයෙන් ලියලා නව ජීවියකු බවට අලිංගික ව වැඩෙන නෙරුම(=bud).

අංකුරිත

වි. අංකුර හටගත්; පැළ වූ.

අංකුරෝත්පත්තිය

නා. අංකුරයක උපත; ළපටි පැළ හටගැනීම.

අංකුලාව

නා. අඟින් කළ කොපු විශේෂයක්; හෙප්පුව.

අංකුශ

නා.ප්‍ර. අංකුශය, අංකුසය, අඞ්කුශය, අඞ්කුසය බ.

1. නා.ප්‍ර. අලි-ඇතුන් හසුරුවන, තියුණු උලකින් හා කොක්කකින් යුතු උපකරණය; හෙණ්ඩුව; අකුස්ස.
2. නා.ප්‍ර. කෙක්ක; දෙහෙටිල්ල.

අංකුශ චාරණය

නා. සිවුසැට කලාවලින් එකක් වන අංකුශ භාවිතය; අලි-ඇතුන් හැසිරවීමේ ශාස්ත්‍රය.