සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1176

භ්‍රමණ

1. වි. කැරකෙන ; වටායන.
2. සැරිසරන ; ගමන් කරන.

භ්‍රමණ අක්ෂය

(ගණිත.) නා. වස්තුවක පරිභ්‍රමණයට හෝ භ්‍රමණයට කේන්ද්‍ර වන කල්පිත රේඛාව.

භ්‍රමණය

1. නා. (භෞති.) රෝදයක් මෙන් කැරකීම ; වස්තුවක් එහි ම ලක්ෂය වටා කැරකීම.
2. ඔබ මොබ හැසිරීම ; ගමනය ; චාරිකාවෙහි යෙදීම ; සැරිසැරීම.
3. හිසේ කැරකිල්ල ; ක්ලාන්තය.

භ්‍රමය

1. නා. වාත රෝගයක් වන කරකැවිල්ල.
2. වැරැද්ද ; වැරදීම.
3. වැරදි වැටහීම ; වරදවා තේරුම් ගැනීම.
4. ලියවන පට්ටලය.
5. සුළි සුළඟ.
6. දිය සුළිය.
7. ඉබාගාතේ යාම.

භ්‍රමර

1. වි. කරකැවෙන.
2. බඹරුන් පිළිබඳ.

භ්‍රමරයා

නා. බඹරා ; මීමැස්සා.

භ්‍රමික

නා.ප්‍ර. (උද්භි.) යමක වෙලෙමින් ඉහළට නගින මෑ, බෝංචි ආදි වැල්.

භ්‍රෂ්ට

වි. ගිලිහුණු ; පහත වැටුණු.
නා.ප්‍ර. නාසිකා රෝගයක නාමය.

භ්‍රෂ්ටයා

නා. ද්‍රෝහියා ; විනාශ කරන්නා.

භ්‍රාජමාන

වි. බබළන ; දීප්තිමත්.

භ්‍රාජික

වි. බැබළුණු ; දිලුණු ; දීප්තිමත් වූ.

භ්‍රාතෘ

වි. එක ම මුලකින් පැවතෙන ; සමාන්තර සම්බන්ධයක් ඇති.
නා.ප්‍ර. සහෝදර ; සොහොයුරු.

භ්‍රාන්තිය

1. නා. වැරදි හැඟීම ; මුළාව ; කැරැකිල්ල.
2. තැතිගැන්ම.
3. (දර්ශන.) සිතේ මවාගන්නා තත්ත්වයක් ; මානසික රෝගයක් වන ඔල්මාදය.

භ්‍රෑණ පටලය

නා. (සත්ව.) අරග, පක්ෂි හා ක්ෂීරපායි සතුන්ගේ කලලයෙන් වැසී තිබෙන හෙවත් බහිෂ්-කලල පටකය.

භ්‍රෑණය

නා. (සත්ව.) ඩිම්බය හෝ මවගේ ගර්භාෂය හෝ තුළ වැඩෙන අවයව සෑදීමෙන් පසු උත්පත්තිය දක්වා වූ දරුවා.

භ්‍රෑවික්ෂේපය

නා. ඇස් බැම නැගීම ; බැම නංවා ඔරවා බැලීම.

භාග

වි. අඩක් හා සම්බන්ධ ; අඩක් පිළිබඳ.
2. අසම්පූර්ණ ; භාගික.

භාග සංඛ්‍යාව

(පාරිභා.) නා. අසම්පූර්ණ සංඛ්‍යාව ; භාග ගණන.

භාගධේය

1. නා.ප්‍ර. පින.
2. රාජ ධනය.
3. ඉරණම ; නියමය.
4. උරුමක්කාරයා ; හවුල් උරුමක්කාරයා.

භාගය

1. නා. කොටස ; පංගුව.
2. කාලය ; කාලපරිච්ඡේදය.
3. මිණුම් ප්‍රමාණයක් වන අඟල් දෙක.
4. (පාරිභා.) සත්ව අවයවයකින් කොටසක්.
5. සංඛ්‍යාවකින් ගන්නා ලද කොටස ; බෙදීමක ලබ්ධිය.

භාග්‍ය

වි. වාසනාවන්ත ; පින්වත්.

භාග්‍ය ගුණ

නා.ප්‍ර. බුදුන්වහන්සේ සතු ගුණ ; බුදු ගුණ.

භාග්‍යය

නා. වාසනාව ; පින.

භාග්‍යවත්

1. වි. භාග්‍ය සම්පන්න ; කෙලෙස් දුරු කිරිම, භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත වීම ආදි ගුණාංගයන්ගෙන් සමන්විත හෙයින් පුණ්‍යවන්ත වූ.
2. වාසනාවන්ත ; ඓශ්චර්යයෙන් යුතු.
නා.ප්‍ර. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ උතුමා ; බුදුන් වහන්සේ.