සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1221

මහේකද

නා. පූජා කිරීම සඳහා ගෙන යනු ලබන කද ; හේම කද.

මහේච්ඡාව

(පාරිභා.) නා. මහත් අභිමතාර්ථය ; යම් තත්ත්වයක් හෝ අරමුණක් ලැබීමේ ආශාව.

මහේශ

නා.ප්‍ර. මහේශ්වරයා ; ශිව දෙවියන්ගේ අපර නාමයක්.

මහේශ්වර

නා.ප්‍ර. මහ දෙවියා ; මෙහෙසුරු ; ශිව දෙවියා.

මහේශාක්‍ය

වි. මහා උතුම් යන නම ඇති ; අතිඋතුම් ; මහත් ආනුභාව ඇති.

මහේශාක්‍යයා

නා. උතුම් තැනැත්තා ; ශ්‍රේෂ්ඨ පුද්ගලයා ; ආනුභාව ඇත්තා.

මහේස්ත්‍රාත්

නා.ප්‍ර. මහේස්ත්‍රාත් උසාවියක අපරාධ නඩු විනිශ්චය සඳහා බලය ලත් අධිකරණ නිලධාරියා ; විනිශ්චයකරු.

මහේසිකාව

නා. අභිෂේකර කරනු ලැබූ බිසව ; රජ බිසව ; මෙහෙසිය.

මහෝඝය

නා. මහා දිය පහර ; විශාල ජල ප්‍රවාහය.

මහෝත්තම

වි. ඉතා උතුම් වූ ; අතිශ්‍රේෂ්ඨ වූ.

මහෝදධි

[මහා + උදධි]
නා.ප්‍ර. මහ මුහුද ; මහා සාගරය.

මහෝදර

[මහා + උදර]
1. නා.ප්‍ර. විශාල වූ උදරය ; මහ බඩ.
2. උදරය විශාල වීම ලක්ෂණ කොට ඇති රෝගය.

මහෝපාධ්‍යාය

1. නා.ප්‍ර. උපදෙස් දෙන ප්‍රධාන ගුරුවරයා ; උසස්තම ආචාර්යවරයා ; උපදේශකයා.
2. බහුශ්‍රැත මහා සංඝයා හට ඒ ඒ සංඝ සභා විසින් පිරිනමනු ලබන ශාසනික උපාධියක්.
3. විශ්වවිද්‍යාල ආදි ආයතනයක ප්‍රධානියා ; උපකුලපතිවරයා ; මහාචාර්යවරයා.

මහෞෂධ

1. නා.ප්‍ර. හස්තසාර ඖෂධ විශේෂයක් ; ඉඟුරු.
2. ප්‍රත්‍යක්ෂ බෙහෙත්.
3. උම්මග්ග ජාතකයෙහි එන මහ පඬුවාගේ නාමය.

මළ

වි. මිය ගිය ; මැරුණු.
නා.ප්‍ර. මුදුන ; සිඛාව ; තුඩ.

මළ ඉර

(කථා.) නා. සැඳෑ ඉර ; බැස යන සූර්යයා.

මළ ප්‍රේතයා

(කථා.) නා. 1. මරණයෙන් පසු ප්‍රේත ආත්මයක් ලබා ඇතැයි සැලකෙන තැනැත්තා.
2. ඉතාම ලෝභී තැනැත්තා.
3. අප්‍රියකර පුද්ගලයා ; අපිරිසිදු තැනැත්තා.

මළ බෙරය

(කථා.) නා. අවමඟුලක දී හෙවත් මරණයකදී ගසන බෙර විශේෂය ; අවමඟුල් බෙරය ; මිනී බෙරය.

මළ රුක්

නා.ප්‍ර. මැරුණු ගස ; මෘත වෘක්ෂය.

මළ සළු

නා.ප්‍ර. භාවිත කළ සාටකය ; පාවිච්චි කළ සළුව.

මළ හදවත

නා. තරමක් වැඩුණු ගොයමට පුරුක් පණුවා හානි සිදු කළ විට කඳේ අභ්‍යන්තර පටක විනාශ වීමෙන් එහි ප්‍රරෝහ වියළී යාමේ ස්වභාවය.

මළකර

[මළ + අකර]
නා. පණ නැති අකුර ; ස්වර රහිත ‘ක්’, ‘ග්’ යනාදි අල් අකුර ; ගතකුර.

මළගම

(කථා.) නා. කෙනෙකු මිය යාම පිළිබඳ අවස්ථාව ; මරණය ; අවමංගලය.

මළඟ

[මළ + අග]
නා. මැරුණු අඞ්ගය හෙවත් සිරුර ඇත්තා ; අනංගයා.